වී කිලෝවට විපක්ෂේ ඉන්න කොට රු.150ක් ගෙව්වාට දැන් පුළුවන් 115ලු…!

February 3, 2025 at 9:53 am | by emanisa.lk

වී සඳහා සහතික මිලක් නියම කිරීමේ යෝජනාව අද (03) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති අතර ඒ අනුව වී කිලෝවක සහතික මිල රුපියල් 115ක් වනු ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

වී සඳහා සහතික මිලක් නොමැති වීම නිසා මහා පරිමාණ වීමෝල් හිමියන් ගොවි ජනතාවගේ වී කුණු කොල්ලයට මිලදී ගනිමින් සිටින බවට චෝදනා කරමින් රටේ විවිධ ප්‍රදේශවල පහුගිය දිනවල විරෝධතා පැවැත්විණි.

වී සඳහා සහතික මිලක් නියම කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත විශේෂ කමිටුවක් පත් කළ අතර එම කමිටුවේ නිර්දේශවලට අනුව වී සඳහා සහතික මිල නියම කර මේ වන විට සති තුනකට වැඩි කාලයක් ගතව තිබෙන බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

සහතික මිල නියම කළ ද එය තවමත් ප්‍රකාශයට පත් නොකර සිටීමෙන් ගොවි ජනතාවට බලවත් අසාධාරණයක් සිදුවන බව එම සංගමය සඳහන් කරයි.

දැනට අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව තෙත නාඩු වී කිලෝවක් රුපියල් 95 ලෙස ද නාඩු වී කිලෝවක් රුපියල් 115ක් ලෙස ද සම්බා වී කිලෝවක් රුපියල් 120 ක් ලෙස ද සඳහන් කරමින් ඒ බව බැංකු වෙත මේ වන විටත් දැනුම් දී තිබෙන බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *