විමල්ගේ සටනට ජයක්! ස්වර්ණවාහිනිය ඇතුළු ඊ.ටී.අයි. ජාලය කොටි ඩයස්පෝරාවට විකිණීම ජනපති නවතාලයි!

February 27, 2019 at 7:57 am | by admin

ඊ.ටී.අයි. ගනුදෙනුව පූර්ණ විනිවිදභාවයකින් තොර, අවශ්‍ය කිසිදු විශ්ලේෂණයක් නිසියාකාරයෙන් සිදු නොවූ ගනුදෙනුවක් හෙයින් එම ගනුදෙනුව නවතා දැමීමට සිදුවන බව ප්‍රකාශ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (26දා) ජාතික ආර්ථික සභාව රැස්වූ අවස්ථාවේදී එම තීන්දුවට හවුල් වූ ආර්ථික සභාවේ සියලු දෙනා දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කොට තිබේ.

එහිදී ගැනුම්කාර සමාගම වන පෙටිගෝ කියන ආයතනය කුමක්ද? මේ ආයතනය ගැන සෙව්වේ නැද්ද? සෙව්වේ නැත්තේ ඇයි? සුභාෂ්කරන් අලිරාජාට මේක දෙන්න තීරණය කළේ කොහොමද? ඔහු ගැන නොසොයා මේ ගනුදෙනුව සිදුකළේ ඇයි? රටේ මිනිසුන්ගේ සල්ලි නේද? මේ වගේ ආයෝජනය කරලා තියෙන්නේ. අලිරාජලාට මේ ගනුදෙනුව කරන්න සල්ලි කොහෙන්ද කියලා සොයා බැලුවේ නැත්තේ ඇයි? යනාදී වශයෙන් ජනාධිපතිවරයා සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ එහි සාමාජිකයන් නිරුත්තර වී තිබේ.

එහිදී ජනාධිපතිවරයා ආර්ථික සභාව හමුවේ කියා ඇත්තේ කිසිදු සොයා බැලීමකින් තොරව මෙවැනි ඩීල් සඳහා එළැඹීම ගැටලුවක් බවත් මෙසේ යන්නට හැරියහොත් මෙය රටටම බලපාන ප්‍රශ්නයක් වනු ඇති බවත්ය.

ගැනුම්කාර විදේශීය සමාගම එම ගනුදෙනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 60කට සිදුකිරීමට එකඟ වෙද්දී දේශීය සමාගම එය ඇමෙරිකානු ඩොලර් මිලියන 61කට මිලදී ගැනීමට එකඟ වී තිබෙනවා නේද? යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රශ්න කිරීමේදී අදාළ පාර්ශ්ව එවැනි දේශීය සමාගමක් ඉදිරිපත් නොවූ බව පවසා තිබේ.

එහිදී ජනාධිපතිවරයා මේ සම්බන්ධව දීර්ඝව ප්‍රශ්න කරමින් විමසා ඇත්තේ එම දේශීය සමාගමට කිසිදු දැනුවත් කිරීමක් හෝ නොකරමින් එම ගනුදෙනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 75කට විදේශීය සමාගමක් වෙත පැවැරුවේ කෙසේ ද යන්න ගැනය. එහිදීද ආර්ථික සභාවේ සියලු දෙනා නිරුත්තර වී තිබේ.

එසේම එම ගනුදෙනුවේදී ආයෝජනය කළ යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 12 සම්බන්ධවත් පෙබරවාරි 22 වන විට ගෙවිය යුතුව පවතින ඇමෙරිකානු ඩොලර් මිලියන 16ක මුදල සම්බන්ධවත් ජනාධිපතිවරයා සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ පාර්ශ්වවලට නිහඬ වීම හැර අන් විකල්පයක් නොවී තිබේ.

එසේම පසුගිය පෙබරවාරි 22 වැනිදා (සිකුරාදා) ශ්‍රී ලංකා මහ බැංකුව ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පෞද්ගලික සමාගම මිලට ගත යුතු නැති බව දන්වා සුභාෂ්කරන් අලිරාජාට ලිපියක් යොමු කළේ ඇයි ද යන්න ජනාධිපතිවරයා එහිදී ප්‍රශ්න කර ඇති අතර එහිදී ද අදාළ පාර්ශ්වයන්ට නිහඬ වීම හැර අන් විකල්පයක් තිබී නැත.

මහ බැංකුව තැන්පත්කරුවන්ගේ දෘෂ්ටි කෝණයෙන් බලන්නේ නම් ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් සමාගම ඔවුන් අදාළ ගනුදෙනුවෙන් ඉවත් කර ගැනීමට කටයුතු කිරීම අතරම විශාල පරස්පරතාවක් පවතී. එයින් පෙනී යන්නේ මහ බැංකුව මේ ගනුදෙනුව දෙස බලා ඇත්තේ තැන්පත්කරුවන්ගේ දෘෂ්ටිකෝණයෙන් නොව වෙනත් කෝණයකින් බවයි.

මේ අතර එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන් ETI ආයතනයේ තැන්පත්කරුවන්ට කඩිනමින් සහන සැලැසීමේ අවශ්‍යතාව ඊයේ (26දා) පැවැති ජාතික ආර්ථික සභාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඊ.ටී.අයි. මූල්‍ය සමාගමේ වත්කම් අලෙවි කිරීමේ ගනුදෙනුව පිළිබඳ ජාතික ආර්ථික සභාවේ විශේෂ අවධානය යොමු කර ඇති අතර එම ගනුදෙනුව සලකා බැලූ ජාතික ආර්ථික සභාව විසින් ඒ සඳහා වූ නිර්දේශද ඉදිරිපත් කර ඇති බවත් 2015 – 2018 කාලය තුළ දේශීය සමාගම් 2ක් සහ විදේශ සමාගමක් ඊ.ටී.අයි. සමාගම මිලදී ගැනීමට කැමැත්ත පළ කර ඇති නමුත් දේශීය සමාගම් සමඟ ප්‍රමාණවත් තරම් පාරදෘශ්‍යභාවයකින් කටයුතු කර තිබේ ද යන්න පිළිබඳ අපැහැදිලි බවත් ජාතික ආර්ථික සභාවේ අවධානයට ලක්වී ඇති බව ගනුදෙනුවේදී තැන්පත්කරුවන්ට ගෙවීම් සඳහා උපරිම මුදලක් ලබා ගැනීම පිණිස නිසි කේවල් කිරීමක් සිදු කළේ ද යන්න අපැහැදිලි බවත් එහිදී විශේෂයෙන් අවධානයට ලක් වූ බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය සඳහන්ය.

තවද ඉදිරිපත් වූ එම සමාගම් 3ටම ලන්සු තැබීම සඳහා සමාන අවස්ථාවන් ලබා දුන්නේද යන්න අවිනිශ්චිත බවට ද ජාතික ආර්ථික සභාවේ නිරීක්‍ෂණයට ලක් වී ඇත.

අදාළ තැන්පත්කරුවන්ට සහන සැලසීම සඳහා එම සමාගමේ වත්කම් අලෙවි කිරීමේ ගනුදෙනුවක් ද මේ වන විට සිදුවන අතර එම ගනුදෙනුව පිළිබඳ මෙහිදී විමර්ශනයට ලක් වී ඇති බවද මේ වන විට ඊ.ටී.අයි. සමාගමේ තැන්පත්වලින් 20%ක් නැවත එම තැන්පත් කරුවන්ට ලබා දී තිබෙන බව ද තවත් 10%ක් නුදුරේදීම ලබා දිය හැකි වන බවටත් අපේක්‍ෂා කරන බව ද මහ බැංකුවේ අදහස වී තිබේ යැයි ද නිවේදනයේ දැක්වේ.

මේ අවස්ථාවට පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, රිෂාඩ් බදුර්දීන්, දයා ගමගේ යන ඇමැතිවරු ද ජාතික ආර්ථික සභාවේ මහ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන්, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගි වී තිබේ.

ඊයේ (26දා) ජාතික ආර්ථික සභාවේදී මෙවැනි වාතාවරණයක් උද්ගත වෙද්දී පසුගිය වකවානුවේ ශ්‍රී ලංකා මහ බැංකුව ඊ.ටී.අයි. ගනුදෙනුව සම්බන්ධව විටින් විට මාධ්‍ය නිවේදන නිකුත් කරමින් පැවැසුවේ එම ගනුදෙනුව ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය සහ ගැනුම්කරුවන් අතර පවතින ගනුදෙනුවක් බවය. එසේ නම් ජනාධිපතිවරයා සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ජාතික ආර්ථික සභාවේ ඊට අදාළ සාමාජිකයන් නිරුත්තර වීම තුළ ඇත්තේ සැබෑ තත්ත්වය ශ්‍රී ලංකා මහ බැංකුව වසන් කිරීමේ යථාර්ථය නොවේද?

එසේම ශ්‍රී ලංකා මහ බැංකුව දිගින් දිගටම නිකුත් කළ නිවේදනවල සඳහන් කළේ ඔවුන් තැන්පත්කරුවන්ගේ දෘෂ්ටි කෝණයෙන් බලා මීට මැදිහත් වූ බවයි.

එය එසේ වූවා නම් අද වන විටත් මේ ගනුදෙනුව හරහා තැන්පත්කරුවන්ටම පමණක් ගැටලුවලට මුහුණ දීමට සිදුවන්නේ කෙසේද?

මේ අතර ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් සමාගම මිලට ගත යුතු නැතැයි පවසා අලිරාජාට මහ බැංකුව ලිපියක් යැවූයේ ඇයිද යන්න බරපතළ ගැටලුවකි.

මහ බැංකුව 22දා මාධ්‍ය වෙත නිවේදනයක් එවමින් සිදු කළ පැහැදිලි කිරීමකදී පවසා ඇත්තේ එම ගැනුම්කාර සමාගම එක්සත් ජනපද ඩොලර් මිලියන 16ක මුදල 2018/10/25 වන දින මෙරට බැංකුවකට එවන ලද නමුත් මේ ගනුදෙනුව ගැන පැවැති අපැහැදිලි තත්ත්වයක් නිසා එම මුදල් ආපසු ගෙන්වා ගත් බවයි. එහෙත් එම මුදල මේ මස අවසන් වීමට පෙර නැවත එවීමට කටයුතු කරන බව දැනුම් දී ඇති බවද මහ බැංකුව එම පැහැදිලි කිරීමෙන් ප්‍රකාශ කර තිබිණි.

මේ සමාගම ගෙවිය යුතු මුදල් ගෙවීම පමා වීමට වක්‍රාකාරයෙන් මෙසේ සුදු හුනු ගෑමට පෙලඹෙන මහ බැංකුවට අද පෙබරවාරි 27 එනම් පෙබරවාරි මස අවසන් වීමට තව ඇත්තේ එක් දිනයක් බව අපි සිහිපත් කරන්නෙමු. මේ ගනුදෙනුව දෙස බැලීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව නිතරම ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක් සඟවා ගෙවීමට පවතින්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 16ක් බව සඳහන් කළ අතර අප වෙත හෙළි වී ඇති තොරතුරු අනුව මේ ගනුදෙනුවට අදාළ ඩොලර් මිලියන 05ක මුදලක් මෙරට පිරිසක් අතර බෙදී ගොස් ඇති බව වාර්තා වේ.

එම ඇමෙරිකානු ඩොලර් මිලියන 05න් ඇමෙරිකානු ඩොලර් මිලියන 03ක මුදලක් ටොරින්ටන් ප්‍රදේශය ආශ්‍රිතව පදිංචි විශ්‍රාමික ප්‍රබල දේශපාලන චරිතයක් අතට පත්ව ඇති බවද හෙළි වී තිබේ.

ඇමෙරිකානු ඩොලර් මිලියන 54ක් ගෙවීමෙන් පසුව එම ගැනුම්කාර සමාගම ගෙවිය යුතුව පවතින්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 16ක මුදලක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසන අතරම එවැනි ගෙවීමක් කිරීමට තිබියදීම ඊ.ටී.අයි. ෆිනෑන්ස් සමාගමේ වත්කම් එම ගැනුම්කාර සමාගමට පවරා දී තිබේ. එහිදී එම වත්කම්වලින් උපයන මුදලින් ගෙවිය යුතු මුදල පියවීමට එම සමාගමට ඉඩ හසර වෙන්කරමින් ඔවුන් කෙරෙහි පවතින ළබැඳියාවේ ප්‍රමාණය සමාජයට මහ බැංකුව හෙළි කර තිබේ.

මව්බිම

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *