විපක්ෂය ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ සුභ සහ යස නාටකයේ වගේ හිස දන් දෙන ලෙසයි! – ගෙවිඳු කුමාරතුංග

April 29, 2020 at 8:55 am | by emanisa.lk

විපක්ෂය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ සුභ සහ යස නාටකය යළි රඟ දක්වමින් හිස දන් දෙන ලෙස යැයි යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

විපක්ෂයේ රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, ආර්. සම්බන්ධන්, පාඨලී චම්පික, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර් දීන් සහ මනෝ ගනේෂන් යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඒකාබද්ධ ප්‍රකාශනයක් මඟින් අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ එතුමා විසින් සිදු කරන ලද පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බල රහිත කරන ලෙස ය. එසේ නො කරන්නේ නම් අඩුම තරමින් විසුරුවා ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙසය.

ජනාධිපතිතුමාගෙන් මේ ඉල්ලීම කරන්නෝ ඔවුන් බලයේ සිටිය දී එතුමා බොරු චෝදනා මත කෙසේ හෝ සිරගත කිරීමට, අපරාධකාරයෙකු ලෙස හංවඩු ගැසීමට බොහෝ දුෂ්ට ප්‍රයත්නයන් දැරූවෝය. එතුමාගේ පුරවැසිභාවය පිළිබඳ පදනම් විරහිත චෝදනා නඟමින් එතුමාගේ ජනාධිපති අපේක්ෂකත්වය ම සුණුවිසුණු කරදැමීමට අශිෂ්ට ප්‍රයත්නයක නිරත වූවෝය. 15 ලක්ෂයක වැඩි ඡන්දයකින් ජනාධිපති තනතුරට පත් වූ පසුව ද මුදල් ප්‍රතිපාදන වෙන් කරගැනීමට ඉඩ නොදුන්නෝය.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ම පැවති පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාර්ලිමේන්තුවක් පත් කරගැනීමට ජන වරමක් ද පතමිනි. ඒ හා සමඟම බෙදුම්වාදීන්ගේ, ෆෙඩරල්වාදීන්ගේ, ආගමික අන්තවාදීන්ගේ සහයෙන්, කිසිවිටෙකත් රජයක් නොපිහිටුවන බවට ප්‍රතිඥා දෙමිනි. මේ අනුව විපක්ෂය ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ 69 ලක්ෂයක් ජනතාව එතුමාට දුන් ජනවරම පාවාදෙන ලෙස ය.

එ පමණක් ද නො වේ. බෙදුම්වාදීන්ගේ හා ආගමික අන්තවාදීන්ගේ බලයට නතුව ඇති, පැවති පාර්ලිමේන්තුව කැඳවූ සැනින් ජනාධිපතිතුමාට සුදුසු පරිදි මුදල් වියදම් කිරීම වළක්වාලනු ඇත. කොරෝනා මර්දනයට ගෙන ඇති සාර්ථක පියවර අවුල් වන යෝජනා සම්මත කරනු ඇත. එම්. සුමන්දිරන් මහතා කර ඇති ප්‍රකාශවලින් පැහැදිලි වනුයේ ජනාධිපතිතුමාට දෝෂාභියෝගයක් ගෙන ඒමට දැනට ම කුමණ්ත්‍රණයක් පවතින බවයි. කුමණ්ත්‍රණකරුවන්ගේ ම කතානාකවරයෙකු ද වන බැවින් එවන් යෝජනාක් පිළිගැනීමට අවශ්‍ය වනුයේ සාමාන්‍ය බහුතරය පමණි. එ විට ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය ද අහිමි වේ.

අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමනි, මවුබිමට එරෙහි වූ, සමස්ත රට වැසියාට ම එරෙහි වූ මේ දුෂ්ට කුමණ්ත්‍රණය සහමුලින් ම පරාජය කිරීමට නායකත්වය දීම ඔබතුමාගේ ප්‍රමුඛ යුතුකමයි. එහි දී සාතිශය බහුතරයක් ජනතාව ඔබතුමා සමඟ සිටගන්නා බවට සැකයක් නැත. එ ලෙස ම මාරාන්තික කොරෝනා වෛරසය පරාජය කිරීමට අප සමත්වනු ඇත්තේ ද මේ බෙදුම්වාදී ආගම්වාදී අන්තවාදීන් ගේ කුමණ්ත්‍රණය පරාජය කළහොත් පමණක් බව අපගේ සදාදරණීය ජනතාව ද තේරුම්ගත යුතු ව ඇත.

ගෙවිඳු කුමාරතුංග
සභාපති – යුතුකම

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස