විපක්ෂය කියනවා වගේ මූල්‍ය අර්බුදයක් රටේ නෑ….! ළඟදිම විදේශ සංචිත බිලියන 07 ඉක්මවනවා….!

July 26, 2021 at 9:49 pm | by emanisa.lk

ඉදිරි මාස 03 තුළ දී ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 2,650 කට ආසන්න විදේශ විනිමය අපේක්ෂා කරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කරයි.

විපක්ෂය ඇතුළු කණ්ඩායම් කිහිපයක් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත මට්ටම අස්ථාවර තත්ත්වයක පවතින බව හුවා දැක්වීමට කටයුතු කරමින් සිටින බව මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මේ අවස්ථාවේදී වඩාත්ම වැදගත් වන්නේ මුදල් ගලාගෙන යාම බවත් නිශ්චිත කාල රාමුව තුල පවතින සංචිත මට්ටම නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ ය. සංචිත මට්ටමේ තාවකාලික උච්ඡාවචන සිදුවිය හැකි බව හොඳින් දන්නා බැවින් පළපුරුදු මූල්‍ය කළමනාකරුවන් මුදල් ප්‍රවාහයන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන නමුත් මුදල් ප්‍රවාහය සාර්ථකව කළමනාකරණය කළ හොත් කිසිදු අස්ථාවරත්වයක් ඇති නොවන බව ඔහු පෙන්වා දෙයි.

සෑම විදේශ විනිමය ණය ආපසු ගෙවීමක් සහ පොලී ගෙවීමක් නියමිත වේලාවට සිදු කර ඇති අතර, එහි පවත්නා සංචිත පරිස්සමින් කළමනාකරණය කිරීම මෙන්ම අපේක්ෂිත ගලා ඒම් සහ පිටතට ගලා යෑම තුළින් ශ්‍රී ලංකාව සිය බාහිර මුදල් ප්‍රවාහයන් සකස් කර ඇති බවද රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

මෙම විදේශ විනිමය ලැබීම අනුව ඉන්දියානු මහ බැංකුවෙන් ලබා ගන්නා අමෙරිකානු ඩොලර් මිලියන 400ක්, බංග්ලාදේශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 250ක්, චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 300ක ණය මුදලක්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත ඩොලර් මිලියන 800ක ප්‍රදානය ද වන බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියි.

ජුලි 27 වන දින ඇමරිකානු ඩොලර් බිලියනයක ණය වාරිකය ගෙවීමෙන් පසු මෙරට තුල වත්මන් විදේශ විනිමය සංචිත ශේෂය ඇමරිකානු ඩොලර් බිලියන 03 ක් පමණ වන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරි මාස කිහිපය තුළ පවතින සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 07 ඉක්මවනු ඇතැයි ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස