විදුලි බිල වැඩි කරන තුරු ඊළඟ IMF වාරිකය නෑ…!

May 7, 2025 at 5:59 am | by emanisa.lk

පිරිවැය ආවරණය කෙරෙහි ඉදිරි විදුලි ගාස්තු සංශෝධනය සිදුවන තෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පස්වන ණය වාරිකය මුදාහැරීම ප්‍රමාද වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග මේ බව ඊයේ (05) තහවුරු කළේය.

දැනට මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට අදාළ සිව්වන සමාලෝචනය සඳහා මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාව ලැබී තිබුණත් ශ්‍රී ලංකාවට මීළඟ ණය වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 344ක මුදල මුදාහැරීම සඳහා එම සිව්වන සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවිය යුතුවේ.

මේ අනුව පිරිවැය ආවරණය කෙරෙන විදුලි මිලකරණය නැවත ස්ථාපිත කිරීම අප වෙත ඡාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ ණය වාරිකය මුදාහැරීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වේ. එය ඉටුකිරීමේ ප්‍රමාදය නිසා ජාත්‍යන්තර අරමුදලේ ඉදිරි ණය වාරිකය ලබාදීමද ප්‍රමාද වනු ඇත.

මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රමාදයක් නොව ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟ වී ඇති කරුණු සපිරීමට ශ්‍රී ලංකාව ප්‍රමාද වීම නිසා සිදුව ඇති දෙයකි. එකඟ වී ඇති කරුණු ඉටුකිරීමෙන් පසු ඇමරිකානු ඩොලර් මිලියන 344ක මීළඟ ණය වාරිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව වෙත මුදාහරිනු ඇත.

මූල්‍ය අරමුදලේ කොන්දේසි ප්‍රකාරව පිරිවැය ආවරණය වන ඉදිරි විදුලි ගාස්තු සංශෝධනය සිදුවීම ජුනි මාසයේදී සිදුවනු ඇති බවද රජය පැත්තෙන් දැනගන්නට ඇත. මෙය අයිඑම්එෆ් එකඟතා ප්‍රකාරව ඉකුත් අප්‍රේල් මාසයේදී සිදුවීමට නියමිතව තිබිණි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *