සිංහලෙන් කිව්වට අපි ඉගෙන ගන්න සංස්කෘතෙන්….! විද්‍යාව ගණිතය කුඩා කල සිට ඉංගිරිසියෙන් ඉගැන්විය යුතුයි…! – මහින්ද පතිරණ…

June 7, 2021 at 10:35 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනකි.

ඉගෙනීමේ දී වැදගත් ම වන දෙය තමා සංකල්ප තේරුම් ගැනීම. දැනුම ප්‍රති- නිර්මාණයයට (reproduction) පදනම වැටෙන්නෙත් සංකල්ප තේරුම් ගැනීම මත. නැතිනම් හුදු තොරතුරු ටිකක් ඔළුවට යනව විතරයි වෙන්නෙ. වත්මන් අධ්‍යාපනයේ අර්බුදයත් මේ සංකල්පකරණයට තබන බර තැබීම ආශ්‍රිත ප්‍රශ්නයක් බවයි මගේ හැඟීම.

කෙනෙක් තුළ සංකල්පීකරණයට මග පෑදෙන්න නම් අධ්‍යාපනය යන්න තොරතුරුවලට එහා යන දෙයක් විය යුතුයි. අධ්‍යාපනය පිළිබඳ මගේ නිර්වචනය නම් තිත් සම්බන්ධ කිරීමේ හැකියාව වර්ධනය කිරීම (ability to connect dots). සරලව තැබුවත් මේක ඉතා බැරෑරුම් කාර්යක්. ඒක උගන්වන්න බැහැ. ඉගෙන ගන්න අවශ්‍ය පසුබිම නම් හදන්න පුළුවන්. එහෙත් අද ගුරුවරුන්ටවත් ගුරුවන්ගේ ගුරුවරුන්ටත් මේව කියල දෙනවද කියල මම දන්නෙ නැ.

දැන් අපි සිංහලෙන් ඉගෙන ගැනීම පැත්තට හැරිල මේක විග්‍රහ කරගනිමු. ඇත්තට ම සිංහලෙන් කියල ඉගෙන ගත්තට ඉගෙන ගන්නෙ සිංහලෙන් ම ද කියල හිතල බලන්න. ගණිතය, විද්‍යාව වැනි විෂයන් පිරිලා තියෙන්න සංස්කෘත වචනවලින්. සංස්කෘත භාෂාව ලංකාවේ පාසැල්වල උගන්වන්නේ නැති පසුබිමක සිසුන්ට ඒ වචන තේරුම් ගන්න අමාරුයි. ඒ නිසාම ඒ වචන ආශ්‍රිත සංකල්ප තේරුම් ගැනීම ඉතාම දුෂ්කරයි. පාරිභාෂික වචන සියල්ලම පාහේ අපි අරගෙන තියෙන්නෙ වෙනත් භාෂාවලින්. ඔය ඓක්‍ය, දර්ශක, ප්‍රමේය වගේ තව කප්පරක් වචන හිතල බලන්න. මේව සිංහල ද?

විද්‍යාව ගණිතය වගේ විෂයන් ආශ්‍රිත සංකල්ප හට ගන්නේ ලතින් වැනි භාෂා හරහා. ඒවාට දී තිබෙන වචනත් බොහොමයක් ලතින්. තවත් ඒව ග්‍රීක. ලංකාවේ වගේ රටවල අපි කරන්නෙ මේවා සංස්කෘතට දාල වචන හදාගෙන තේරුම් ගන්න යනවා. ඒක සාර්ථක වෙන්නෙ නැ.

මම කියන්නෙ විද්‍යාව හා ගණිතය වැනි විෂයන් ඉගෙන ගන්න නම් බටහිර සංස්කෘතික පසුබිමත් එක්ක ඒව ඉගෙන ගැනීම අවශ්‍යයි කියන එක. ඉංග්‍රීසිය තුළ සංකල්ප පැහැදිලි කර තිබෙන ආකාරයත් ඉතා ම පැහැදිලි හා වහා අවබෝවන සුළු බව එම පාඨ ග්‍රන්ථ දෙස බැලූ බැල්මට ම පෙනී යයි. ඒ කියන්නෙ එම විෂයන්වත් අවම වශයෙන් කුඩා කළ සිටම ඉංග්‍රීසි බසින් ඉගැන්වීම දරුවන්ගේ මේ ආශ්‍රිත දැනුම, තොරතුරු ස්ථරයෙන් එහා ගෙන යෑමට පිටුවහලක් විය හැකි බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *