ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ට ගෙවීම් සිදුකරන ක්‍රමවේදයක් ඇති බවත් ඊට පිටින් ගෙවීම් කළ නොහැකි නිසා චමින්ද වාස් සිය ඉල්ලා අස්වීම ලබා දී ඇති බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස බඳවාගත් චමින්ද වාස් ඉල්ලූ පරිදි ගෙවීමක් සිදු නොකළ නිසා ඔහු ඉවත්වීම ගැටලුවක් බවත් වෙනත් විදේශීය පුහුණුකරුවන්ට විශාල මුදලක් ගෙවද්දී ජාතික අනන්‍යතාවකින් යුත් චමින්ද වාස් වැන්නකුට එසේ ගෙවීම් නොකරන්නේ මන්දැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි විමසූ පැනයකට පිළිතුරු දෙමිනි.
“මේ සඳහා ක්‍රමවේදයක් තියෙනවා. අපිට ඕන විදයට ගෙවීම් කරන්න බෑ. පුහුණුකරුවාගේ දක්ෂතාව මිසක් ජාතිය, ආගම, කුලය අපි බලන්නේ නෑ. ක්‍රිකට් ආයතනයට ඕනෑ විදියට ගෙවන්න බෑ. ඒ ක්‍රමවේදය සඳහා යා යුතුයි.” යැයි නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.