වළගම්බාගමනය සහ ගෝඨාගමනය!

April 11, 2019 at 10:21 pm | by admin

ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත ඔහුගේ මව්බිමට එනවා. ඇතැම් අය හිතුවා ඔහුට නැවත ලංකාවට එන්න බැරි වෙන්න ඇමරිකාවේදී අත්අඩංගුවට ගනියි කියලා. ඔවුන් ඒ ගැන යටි හිතින් සතුටු වුනා. ගෝඨාභයට ඇමරිකාවේදී සිවිල් නඩුවක් දැම්මා කිව්වම සමහරු ඒ ගැන උදම් ඇනුවා. බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන් සහ ත්‍රස්තානුකම්පිකයන් එහෙම සතුටු වෙන එක ගැන මට පුදුමයක් නැහැ. නමුත් තමන්ගේ දේශපාලන පක්ෂයේ නොවූ පමණින් සහ දේශපාලන මධ්‍යස්තයන් යැයි කියාගන්නා සමහරු එහෙම දුෂ්ට සතුටක් විඳින එක ගැන නම් මට පුදුමයි.

අවුරුදු 20 ක් හමුදා නිල ඇඳුමේ සිය රාජකාරිය අකුරට ඉටු කරපු ඒ මනුස්සයා, ජේ.ආර්. ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස සේනාධිනායකවරුන් යටතේ කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද්ධ කරනවා. ඒ ජනපතිවරු ඔහුට රණ වික්‍රම, රණ ශූර පදක්කම් පළන්දන්නේ ඔහුගේ වීරත්වයට. ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න වැනි අසහාය හමුදා නායකයන් අභිරහස් ලෙස මරා දමන විට, එකා පිට එකා මැරිලා ජයග්‍රහණය පෙනී පෙනී තියෙද්දී පහරදීම නවත්වන්න කියලා ඉහළින් නියෝග එනකොට, එජාප ආණ්ඩු නායකයෝ ත්‍රස්තවාදියාට රහසින් ආයුධ දෙනකොට; ඔහුට වැටහෙන්න ඇති මේ විදිහට නම් යුද්ධය ඉවර කරන්න බැහැ කියලා.

වළගම්බා හෙවත් වට්ට ගාමිණි “අභය” රජතුමා එදා සොළීන් සහ කුමන්ත්‍රණකරුවන් ඉදිරියේ පසුබා ගියා වගේ ගෝඨාභයට සිද්ධ වුනා අනාගතයේ සුදුසු අවස්ථාව එනකල් පසුබහින්න. එදා ඔහු හමුදාවෙන් නීත්‍යානුකූලව විශ්‍රාම අරගෙන පසුබැස්සේ නැත්නම්, 2005 නැවත ලංකාවට එන්න ගෝඨාභය කෙනෙක් නැති වෙන්න තිබුනා. එහෙම වුනා නම් අවුරුදු 30 ක් තිස්සේ ජනරජය කාබාසිනියා කළ ලෝකයේ භයානකම ත්‍රස්තවාදී හමුදාව, අවුරුදු තුනෙන් පරාජය කරන්න බැරි වෙන්න තිබුනා. එහෙනම් මේ අවුරුදු කටෙත් කොහේ හරි ක්ලේමෝ බෝම්බයක් පිපිරිලා ඔබේ ආදරවන්තයෙක් ඔබට අහිමි වෙන්න තිබුනා.

ඇමරිකාවේ පුරවැසිභාවය ගත්ත ගෝඨාභය නැවත ලංකාවට ආවේ ඇයි? ඇතැමුන් කියන විදිහට ඔහුට ඇත්තටම තම මව්බිමට ආදරයක් නැත්නම් ඔහුට නැවත එන්න අවශ්‍ය නැහැ. ඔහුට තිබුනා මහින්ද ජනපතිට කියන්න “මට එන්න බැහැ” කියලා. ඔහුට තිබුනා ඇමරිකාවට වෙලා තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න. නැහැ. ඔහු එක පයින් නැවත ආවා. එතනින් මට පෙනෙන්නේ ඔහුගේ සැබෑ දේශප්‍රේමීත්වය. සැබෑ නිර්භීතකම. තම අරමුණ වෙනුවෙන් උපක්‍රමශීලීව බුද්ධිමත්ව සහ ඉවසීමෙන් කටයුතු කිරීමේ හැකියාව. ඔහු එනවා. ඇවිල්ලා අපට අපේ ජනරජය ත්‍රස්තවාදියාගෙන් ගලවා දෙනවා.

ගෝඨාභය තමන්ට පැවරුණ වගකීම් අකුරටම ඉටු කළ මිනිහෙක්. හැමෝටම එහෙම කරන්න බැහැ. ඔහුට අකමැති බොහෝ අයට තියෙන්නේ අන්න ඒ හීනමානය. 2015 න් පස්සේ ගෝඨාභය මහතාට කැමති නම් තිබුනා නැවත ඇමරිකාවේ පදිංචියට යන්න. නමුත් ජනරජයේ සාධාරණ වැසියන් ඔහුගෙන් ඉල්ලුවා “යන්න එපා, ඉන්න” කියලා. ඒ වැසියන් ඔහුගෙන් දැන් ඉල්ලනවා ජනපති වෙන්න කියලා. ඉවරයක් නැහැ. හැබැයි එහෙම කරන්න නම් ඔහු තමන්ගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කරගත යුතුයි.

ඇමරිකානු පුරවැසියෙක්ට අතිශය විශාල අන්තර්ජාතික රැකවරණයක් තිබෙනවා. මුළු බටහිර ලෝකයම “නවත්තපන්” කියද්දි, එයට අවනත නොවී භයානක ත්‍රස්තවාදීන් පරාජය කළාට පස්සේ ඒ රටවල් නිකම් ඉඳියි කියලා ඔබ හිතනවද? යුධ අපරාධ චෝදනා දාගෙන අද ඔවුන් කරන සෙල්ලම ගැන ගෝඨාභය රාජපක්ෂ වගේ දුරදක්නා නුවණ ඇති අයෙක් අනිවාර්යයෙන්ම එදා දකින්න ඇති. ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඔහුට තියාගන්න වුනේ ඒ නිසයි. ඒ වුනත් දැන් ඒ මනුස්සයා තමන්ට ඒ එන තර්ජනය, ඒ අවදානම පෙනී පෙනී, තමන්ගේ පුරවැසිභාවය අහෝසි කරන්න ඇමරිකාවට යනවා. ඒ ඔහු එහි ගිය අවසන් වතාව වෙන්න බොහෝ දුරට පුළුවන්.

එහෙම කැප කිරීමක් කරන්න ඔහුට පුළුවන් වුනේ කොහොමද? ජනපති වෙයිද නැද්ද කියන්න පුළුවන් ජනපතිවරණයකින් විතරයි. එහෙම වුනත් අවුරුදු පහයි. ඔහුගේ ඉතිරි ජීවිත කාලය? තමන්ගේ අතේ වැරැද්දක් නැති මිනිහට විතරයි එහෙම බය නැතුව තීරණයක් ගන්න පුළුවන්. ඔහු වරදක් හෝ අපරාධයක් හෝ කර තිබෙනවා නම් ඔහු කිසිවිටෙක තම ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කරගන්නේ නැහැ. ඒ තමයි ඔහුගේ නිර්දෝෂිභාවය ඔප්පු කරන ප්‍රබලතම සාක්ෂිය. ඒ ශ්‍රේෂ්ඨ මනුස්සයා හෙට නැවත ලංකාවට එනවා. මම කටුනායකට යනවා එතුමාව පිළිගන්න. මට කරන්න පුළුවන් එච්චරයි. අත්-හිත් පිරිසිදු නම්, ඔබත් එන්න.

එරන්ද ගිනිගේ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස