වස- විස අඩංගු ආනයනික කිරිපිටි අපේ දරුවන්ට පොවන්න එපා!

February 14, 2019 at 4:32 pm | by admin

‘වස – විස අඩංගු ආනයනික කිරිපිටි ආපේ දරුවන්ට පොවන්න එපා!’ යන තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ‘ලක්මව දියණියෝ’ සංවිධානය අද (14) සෞඛ්‍ය, පෝෂණ සහ දේශිය වෛද්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ අතර වස විස අඩංගු ආනයනික කිරිපිටි තොග ශ්‍රී ලංකාව තුළට පැමිණීම වැලැක්වීම පිණිස ඇමතිවරයා ගත යුතු ක්‍රියාමාර්ග 05ක් ද යෝජනා කරමින් ඉදිරිපත් කළ ඉහත විරෝධතා ලිපිය පහත පළකර ඇත.

වෛද්‍ය රාජිත සේනාරත්න මහතා,
සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය,
සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය,
385, සුවසිරිපාය, පූජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත,
කොළඹ 10.

සෞඛ්‍ය ඇමතිතුමනි,
ආනයනික කිරිපිටිවල ෆාම් තෙල්, ඌරු තෙල් හෝ වෙනත් කිරි නොවන මේදය අඩංගු වන බවට ඉදිරිපත් වන චෝදනා පිළිබඳව
ඉහත චෝදනා නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඊට පිළිතුරු ලෙස ඔබතුමා විසින් ඉදිරිපත් කළ කරුණු කිසිසේත්ම තර්කානුකූල නොවන බව අපගේ පිළිගැනීම වේ. සාමාන්‍ය මව්වරුන් ලෙස අපේ දරුවන්ට ලබා දෙන කිරි හෝ ඖෂධවල සැබෑ ලෙසම අඩංගු වන රසායනික සංඝටක පිළිබඳව අපට අවබෝධයක් නැත. ආහාර පනත සහ ඖෂධ පනත මගින් නීති පනවා ඇත්තේ ඒවායේ මහජන සෞඛ්‍යයට අහිතකර දේ අඩංගු නොවන බවට මහජනයාට සහතිකයක් ලබා දීම සඳහා ය. ඔබතුමාගේ ප්‍රකාශය සහ ඔබතුමාගේ නිලධාරියකු විසින් ලිපි ශීර්ෂයක් නොමැතිව ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නිකුත් කළ පුවත්පත් නිවේදනය මඟින් පැහැදිලි කරනු ලබන්නේ ගුණාත්මකභාවයට අදාළ සාමාන්‍ය පරීක්ෂණ වාර්තා පිළිබඳව පමණි.
නමුත් මතු කෙරෙන ප්‍රශ්නය වෙනත් දෙයකි. එනම් කිරිපිටි සමාගම් විසින් තම ලාභය වැඩික කර ගැනීම සඳහා කිරිවල අඩංගු මිල අධික කිරි මේදය ඉවත්කර ගෙන ඒ වෙනුවට මිල අඩු බාල ෆාම් තෙල් එකතු කිරීමේ ප්‍රශ්නය පිළිබඳව ය. ආහාර පනත අනුව ආනයනික කිරිපිටිවල කිරි මේදය පමණක් අඩංගු වන බව සහතික කිරීමට ඔබතුමා සහ ඔබගේ ආහාර අධිකාරිවරයා මහජනයාට බැඳී සිටියි. විශේෂයෙන්ම කිරි මේදයේ සංයුතිය වෙනස් කිරීම යනු ලාභය වැඩි කර ගැනීම සඳහා සිදු කරනු ලබන කූඨ වාණිජ ක්‍රියාවක් බැවින් ඒ බව සැඟවීම සඳහා බොහෝ පාර්ශ්ව ක්‍රියා කිරීමට ඉඩ ඇති බැවින් ඔබගේ වගකීම වඩාත් බරපතළ වේ. ඔබ ඉතා හොඳින් දන්නා පරිදි ආචාරධර්ම විරෝධී එම වෙළඳ මගඩිය මහජන සෞඛ්‍යයට හානිකර වේ. විශේෂයෙන්ම එසේ භාවිතා කරන ෆාම් තෙල්වල ‘‘නිදහස් මේද අම්ල” ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතී නම් එවැනි කිරි පිළිකා කාරකයක් ලෙස ද ක්‍රියාකරන බවට විද්‍යාත්මක සාක්ෂි ඇත. ඒ අනුව ඔබතුමාගේ අමාත්‍යාංශය විසින් බෝ නොවන රෝග පිළිබඳව ඉතා විශාල වශයෙන් මුදල් වැය කරමින් ඝෝෂා නගන තත්වයන් තුළ ප්‍රායෝගිකව සිදුවන දේ ඉතා කනගාටුදායක බව ඔබතුමා පිළිගන්නවා ඇත.

තවත් විශේෂ හේතු දෙකක් මත ඔබතුමාගේ විශේෂ අවධානය මෙම ගැටළුව වෙත වහා යොමු විය යුතු බව මව්වරුන් ලෙස අපි විශ්වාස කරමු. ඉන් පළමුවැන්න, මව්බිම ලංකා පදනම විසින් එංගලන්තයේ පිළිගත් රසායනාගාරයක් මගින් කරන ලද පරීක්ෂණ අනුව ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ අලෙවි කරන කිරිපිටිවල ස්වාභාවික කිරි මේදය වෙනුවට ෆාම් තෙල් අඩංගු වන බව ඔප්පු වී තිබීම ය. දෙවැන්න, අදාළ විදේශීය කිරිපිටි සමාගම් සහ පාරිභෝගික සංවිධාන විසින්ම පිළිගෙන ඇති පරිදි අප වැනි රටවල දුප්පත් මිනිසුන්ගේ පරිභෝජනය සඳහා මිල අඩු කිරිපිටි වර්ග අවශ්‍ය වන බැවින් මිල අධික කිරි මේදය වෙනුවට මිල අඩු වෙනත් තෙල් වර්ග එකතු කරනු ලැබීම ය.
ඒ මගින් සිදු වන තුන්වන අනර්ථයක් ද ඇත. ඒ එසේ ආචාරධර්ම විරෝධී ලෙස සහ මහජන සෞඛ්‍යයට හානිකර ආකාරයට උපයාගන්නා අධික ලාභය යොදා ගනිමින් එම සමාගම් විසින් කරනු ලබන ක්‍රියාවලිය ය. ඒ තුළ සිල්ලර වෙළෙඳපොළ තුළ අධික කොමිස් ලබා දෙමින් ආක්‍රමණශීලී ප්‍රචාරණ ක්‍රමවේද අනුගමනය කරන අතර ඉහළ රාජ්‍ය නිලධාරීන් පමණක් නොව ජනමාධ්‍ය පවා එම අරමුදල් යොදවා පාලනය කරන ආකාරය පැහැදිලිව දක්නට ඇත. ඒ මගින් දේශීය කිරි කර්මාන්තය කඩා වැට්ටවීම තුළ පාරිභෝගිකයා තවදුරටත් එම විදේශීය සමාගම්වල ග්‍රහණයට නතු කර ගැනීමට අවස්ථාව ලැබේ.
මෙම තත්ත්වය වැළැක්වීම සඳහා ඔබතුමා විසින් සද්භාවයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පහක් මේ රටේ මව්වරුන් ලෙස අපි යෝජනා කරමු.
01. විදේශීය රටවලින් කිරිපිටි ආනයනය කිරීමේදී එම කිරිපිටි තොග වරායෙන් නිදහස් කිරීමට පෙර ඒවායේ කිරි මේදය හැර ෆාම් තෙල් හෝ ඌරු තෙල් හෝ වෙනත් කිසිදු තෙල් වර්ගයක් අඩංගු නොවන බවට ප්‍රකාශයක් ලබාගැනීම සහ ඒ බව තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් පර්යේෂණාගාරවලින් පරීක්ෂණ වාර්තා ලබාදීම අනිවාර්ය කිරීම.
02. එසේ ආනයනික කිරිපිටි වරායෙන් නිදහස් කිරීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර අධිකාරිය මගින් කිරි මේදයේ සංයුතිය පිළිබඳ පරීක්ෂණ වාර්තා ලබාගැනීම. (ඒ සඳහා ශ්‍රී ලංකාවේ පරීක්ෂණාගාරවල පහසුකම් නොමැති නම් එම පහසුකම් ලබා ගන්නා තෙක් විදේශීය පරීක්ෂණාගාර වෙත යැවිය හැක.)
03. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ කිරිපිටි සමාගම් අතර පවතින ආචාරධර්ම විරෝධී සබඳතා වැළැක්වීම සඳහා පියවර ගැනීම. (මේ වන විට වර්තමාන අධ්‍යක්ෂ ජනරාල්වරයා නවසීලන්තයේ කිරිපිටි සමාගම් විසින් පවත්වන වැඩසටහනකට සහභාගි වීම සඳහා නවසීලන්තයට පිටත්ව ගොස් ඇති අතර හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා මසකට ලක්ෂ 20ක වැටුපක් මත කිරිපිටි සමාගමක රැකියාවක් ලබා ගෙන ඇත.)
04. විදේශීය කිරිපිටි සමාගම් විසින් කරනු ලබන ආක්‍රමණශීලී අයුතු ප්‍රචාරණ වැළැක්වීම සඳහා ආහාර පනත යටතේ නීතිමය පියවර ගැනීම සහ ප්‍රචාරණය සඳහා අයුතු ලෙස මුදල් යොදවා ඒ මුදල් පාරිභෝගිකයාගෙන් අයකර ගැනීමේ අසාධාරණ ක්‍රියාවලිය වැළැක්වීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන ලෙස පාරිභෝගික අධිකාරියට බල කිරීම.
05. ආනයනික කිරිපිටි ප්‍රතාපනය කිරීම වැළැක්වීම සඳහා ආනයන බලපත්‍ර ක්‍රමයක් ඇතිකොට, අදාළ සමාගම්වලට ආනයන කෝටා ලබාදීම සඳහා අයුතු බදු සහන ලබා නොදෙන ලෙස මහා භාණ්ඩාගාර නිලධාරීන්ට බල කිරීම.

ඔබතුමන්ට තෙරුවන් සරණයි,

ප්‍රියංගා කොතලාවල
ජාතික සංවිධායිකා,
ලක්මව දියණියෝ
2019-02-14

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *