වරායේ ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි අගමැති නියෝග කරයි…!

September 24, 2021 at 5:00 pm | by emanisa.lk

වරාය තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (24) දින රැස්වූ ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා රැස්වීමේ දී නියෝග කළේය.

රටේ මහජනතාවගේ ජීවන වියදම් පිළිබඳව අවධානය යොමු කරමින් අග්‍රාමාත්‍යතුමා ආනයන අපනයන පාලක ජනරාල්වරියට සහ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට මෙම නියෝගය ලබා දුන්නේය.

මෙහි දී අදහස් පළ කළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, එසේ නිදහස්වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කඩිනමින් සතොස සහ අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන් හරහා ජනතාවට බෙදාහැරීමට කටයුතු කරන්නැයි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනට දැනුම් දුන්නේය.

සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව වෙළඳපොළට නිකුත්කිරීමේ වගකීම වෙළඳ අමාත්‍යාංශයේ සහ කෘෂිකර්ම නිලධාරින් විසින් දැරිය යුතු බවට ද මෙහි දී අවධාරණය කෙරිණි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා ඉල්ලා අස්වෙමින් කළ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස තමන් කර ඇති පැමිණිල්ල කඩිනමින් විභාග කරන්නැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙහි දී අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුව අදාළ පරීක්ෂණය කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍යතුමා ඒ මොහොතේදීම පොලිස්පතිවරයාට දුරකථන ඔස්සේ දැනුම් දුන්නේය.

දේශීය බඩ ඉරිඟු ඵලදාව ලැබෙනතුරු දැනට පවතින ක්‍රමවේදයට විදේශීය වෙළඳ පොළෙන් තවදුරටත් බඩ ඉරිඟු ඇතුළු සත්ත්ව ආහාර අමුද්‍රව්‍ය ලබා ගැනීමට රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් කළ ඉල්ලීමට ද මෙහි දී අනුමැතිය හිමිවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *