බංකොලොත් වූ රට නැවත නඟා සිටුවන අවස්ථාවේ වැඩ වර්ජන සිදුකර ඒ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන කණ්ඩායම් ගැන ජනතාව අවදියෙන් සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.
“නිදහසින් පසු වැඩවර්ජනවලින් ට්‍රිලියන ගණනක හානියක් ශ්‍රී ලංකාවට සිදුව තිබෙනවා. ගණන් හදලා බැලුවොත් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ වර්ජනවලින් වූ පාඩුවෙන් තව රේල් පීලි කිලෝමීටර සිය ගණනක් දමන්න තිබුණා. සියලු දෙනාට දුම්රිය භාවිත කරන්න පුළුවන් සමාජ පරිසරයක් ඇති කළ යුතුව තිබෙනවා. බංකොලොත් වූ රට මහත් පරිශ්‍රමකින් නැවත නඟාසිටුවන අවස්ථාවේ වැඩ වර්ජන සිදු කරමින් ඒ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන කණ්ඩායම් ගැන ජනතාව අවදියෙන් සිටිය යුතුයි.
රනිල් වික්‍රමසිංහ මහතා 2022 මැයි 12 දා අග්‍රාමාත්‍ය ධුරයට පත් වන අවස්ථාවේ මේ රට ගොඩ ගැනීමට ක්‍රියා කරන්නේ කෙසේදැයි කියා ඝෝඨාභය මහතාට ලිඛිතව දැනුම් දුන්නා. දැන් ඒ වැඩපිළිවෙළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කර තිබෙනවා. ලෝක බැංකුවට සහ ආසියානු සංවර්ධන බැංකුවටත් ලෝකයේ ණය දෙන සහ ආධාර දෙන කණ්ඩායම්වලටත් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අය ඒ ක්‍රමවේදය පිළිගෙන තිබෙනවා. ඒ ලියවිල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, ඒ හරහා මහජනයාට ඉදිරිපත් කර තිබෙනවා. යන පාර ඉතා පැහැදිලිව ඉදිරිපත් කර තිබෙනවා. ඒ යන පාර ඉදිරිපත් කර තිබියදී නෑ මට පුළුවන් කියලා හන්දි ගානේ එක එක්කෙනා කියනවා නම්, අන්න ඒක තමයි දේශපාලනයේ වංචාව.
ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණු දුර්වල ස්ථාන ශක්තිමත් කර පනත් 55ක් ඉදිරිපත් කර සම්මත කරගෙන තිබෙනවා. අයවැය කාර්යාලයක් පිහිටුවලා තිබෙනවා. ඒ මඟින් නව ආර්ථික විශේෂඥ මහලේකම්වරයෙක් පත් වෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කළත් නොකළත් රට ගොඩ ගත හැකි යෝජනා තිබේ නම් ඒ කාර්යාලයට ඉදිරිපත් කළ හැකියි. ඒ නිසා මහ ජනයා රැවැට්ටීම නවත්වලා, කරුණාකරලා රට ජාතික වශයෙන් ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා. අපේ රට කනගාටුදායක තැනකයි තිබෙන්නේ. ඒ නිසා මේ වංචනික දේශපාලනය ශ්‍රී ලංකාව තුළ නැවැත්විය යුතුයි.”