ආගම සහ භාෂාව පදනම් කරගත් සියලු දේශපාලන පක්ෂ තහනම් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් පියතුමා පවසයි. එමගින් කරන්නේ රට බෙදීම පමණක් බව ද එහිමියන් අවධාරණය කළහ.
පාස්කු ප්‍රහාරය එල්ල වන තුරු වගකීම් පැහැර හැරි නිලධාරීන් සහ දේශපාලන නායකයන් පිළිබඳ මේ වන විට විමර්ශන සිදු කළ ද මෙම ප්‍රහාරය එල්ල කළ අය පිටුපස සිටි අය පිළිබඳ මෙතෙක් සොයා බලා නොමැති බව කාදිනල් හිමි පෙන්වා දුන්නේය.
ජනාධිපති කොමිසම මෙම ප්‍රහාරය පිටුපස සිටින අය පිළිබඳ විමර්ශනය කරන්නේ නම් වඩා හොඳ බව තමන් යෝජනා කරන බව ද කාදිනල් හිමි පැවසීය.
එම අපරාධකාරයන් නිදහස් කර එළියට දැමීමට යම් රජයක් කටයුතු කරන්නේ නම් තමා ඊට විරුද්ධ වන බව ද කාදිනල් හිමි සඳහන් කළේය.
පහුගිය ආණ්ඩුව එම පරීක්ෂණ නිසි ලෙස නොකළ බවත් අද නිලධාරීන් ජනාධිපති කොමිසම හමුවට ගොස් කිඹුල් කඳුළු හෙළන බවත් සඳහන් කළ කාදිනල් හිමි රාජකාරී ඉටු නොකළ නිලධාරීන් සේවයෙන් පහකළ යුතු බව ද අවධාරණය කළේය.
තේ වත්ත අප ස්වාමි දුවගේ ජාතික බැසිලිකාවේ (30) පැවති දේව මෙහෙයක දී කාදිනල් හිමියන් මෙම අදහස් ප්‍රකාශ කළහ.