ලෝක සතුටු ලැයිස්තුවේ ලංකාව ස්ථාන 14ක් පහළට! පාකිස්ථානය 67 වන ස්ථානයේ! ලංකාව 130 තැනට!

March 23, 2019 at 10:17 am | by admin

පසුගිය දා එළිදක්වන ලද එක්සත් ජාතීන්ගේ World Happiness Report 2019 නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව 130 වන තැනට පත්ව තිබේ. ලොව පුරා රටවල් 156 ක් ඇසුරින් සකස් කරන ලද වාර්තාවකින් මේ බව අනාවරණය වී ඇත.

2018 වාර්තාවට අනුව ශ්‍රී ලංකාව මෙම වර්ගීකරණයේ 116 වැනි ස්ථානයේ පසු වූ අතර වසරක් ඇතුළත, ස්ථාන 14 කින් මේ අනුව ශ්‍රී ලංකාව පහළ ගොස් තිබේ.

ඒක පුද්ගල දළ ජාතික ආදායම, සමාජ සහයෝගීතාව, සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව ඇතුළු නිර්ණායක කිහිපයක් මත පදනම්ව මෙම අධ්‍යයනය සිදුකරනු ලැබේ.

මේ අනුව ලෝකයේ තෘප්තිමත්ම රට ලෙසින් ෆින්ලන්තය අංක 1ට පත්ව ඇත. පිළිවෙළින් ඩෙන්මාර්ක් හා නෝර්වේ, මෙහි දෙවන හා තෙවන ස්ථාන හිමි කර ගෙන තිබේ.

දකුණු ආසියානු රටවලින් පකිස්තානය (67), භූතානය (95), නේපාලය (100) හා බංග්ලාදේශය (125), ශ්‍රී ලංකාවට ඉදිරියෙන් පසුවන අතර ඉන්දියාව (140) හා ඇෆ්ගනිස්ථානය (154) ශ්‍රී ලංකාවට පසුව ශ්‍රේණිගත වී ඇත.

මෙම සටහනේ අවසාන තැනට දකුණු සුඩානය (156) පත්ව තිබේ. පසුගිය වසරේ දී දකුණු සුඩානය 154 වැනි ස්ථානයේ පසු වූ අතර එවර 156 වන ස්ථානයේ පසු වූ බුරුන්ඩි දේශය මෙවර 145 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස