ලොහාන්ට එරෙහිව කොටි සැකකරුවෝ 08ක් නඩු දමති…! වහාම තමන් යාපනයට මාරු කරන නියෝගයක් ඉල්ලති…!

October 1, 2021 at 7:51 am | by emanisa.lk

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අනුරාධපුර බන්ධනාගාරය තුළ දී තමා දණ ගස්වා හිසට පිස්තෝලයක් එල්ල කර සිදුකළ මරණීය තර්ජනය නිසා තමා ඇතුළු එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවට නිගමනය කරන ලෙස ඉල්ලා එල්.ටී.ටී.ඊ. සැකකරුවකු වන පුගාලසිංහම් සුරියබාලන් ඇතුළු සැකකරුවෝ අටදෙනෙක් ඊයේ (30) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

පසුගිය 12 වැනිදා පස්වරු 6.05 ට පමණ අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා තමන් ඇතුළු එල්.ටී.ටී.ඊ. සැකකරුවන් පිරිසක් සිර මැදිරිවලින් ඉවතට ගෙන පිස්තෝලයක් හිසට එල්ල කර කළ එම මරණීය තර්ජනය නිසා තමන් ඇතුළු එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ගේ ජීවිත බලවත් අවදානමකට ලක්වී ඇතැයි ද පෙත්සම්කරුවන් එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයට කියා තිබේ.

එබැවින් තමන් ඇතුළු එල්.ටී.ටී.ඊ. ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන වසර ගණනාවක් තිස්සේ රඳවා ගෙන සිටින පිරිස යාපනය බන්ධනාගාරයට මුදාහැරීමට බලධාරීන්ට නියෝගයක් කරන ලෙසත් තමන් ඇතුළු පිරිස සියලු චෝදනාවලින් මුදාහැරීමට හා ඇප මත මුදාහැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටත් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අධිකරණ අමාත්‍යවරයා හා නීතිපතිවරයා නම්කොට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *