ලේක්හවුස් එක හෝ්ටලයක් කරන්න යෝජනා එනවා..! නමුත් හීනෙන්වත් විකුණන්නේ නෑ…! – බන්දුල….

August 3, 2022 at 10:04 am | by emanisa.lk

කිසිදු ලෙසකින්වත් ලේක්හවුස් ආයතනය විකුණා නොදමන බව විෂය භාර ඇමැතිවරයා ලෙස තමන් සහතික වන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

එවැනි කැබිනට් පත්‍රිකාවක් ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට තමන් සිහිනෙන් හෝ සිතා නැති බව ද ඇමැතිවරයා ඊයේ (02) කීවේය.

“මාධ්‍යවේදී හිතවතුන් එකතු වුණාම විවිධ යෝජනා ගේනවා. මීට වඩා හොඳයි සංචාරක හෝටලයක් කරා නම්, හොඳයි මුද්‍රණ කටයුතු වෙන තැනකට ගෙන ගියා නම් වැනි යෝජනා ඉදිරිපත් වෙනවා. රාජ්‍ය මාධ්‍ය ආයතන සියල්ල විශාල අලාභ මට්ටමක් යටතේ තමයි පවත්වාගෙන යන්නේ. අලාභය නෙවෙයි ප්‍රශ්නය. ඊළඟ මාසයේ වැටුප් ගෙවීම් පිළිබඳයි ප්‍රශ්නය. ඉතා විශාල සේවක අතිරික්තයකට වැටුප් ගෙවා ගන්න බැරි ගැටලුවකට මම මුහුණ දෙනවා. මම විෂය භාර ඇමැතිවරයා ලෙස මීට පෙර භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලලා ගෙවලා තිබෙනවා.

මේ මොහොතේ භාණ්ඩාගාරයට එම මුදල් සැපයීමේ කිසිදු හැකියාවක් නැහැ. රට දැවැන්තම ආර්ථික අර්බුදයකට මුහුණදීලා තිබෙන්නේ. කැබිනට් පත්‍රිකා දුන්නට වැටුප් ගෙවීම සඳහා මුදල් දෙන්න නොහැකියාව දැනුම් දීලා තිබෙනවා. සියලු සේවකයන්, වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කරලා අලුත් ක්‍රමවේදයක් හදා ගන්න ඕන, කොහොමද අපි මේ ආයතන බේර ගන්නේ කියලා.
එහෙම නැතුව වැටුප් ගෙවන්න බැරුව සම්පූර්ණයෙන් වසා දැමීමේ තත්ත්වය නතර කරලා අපි කොයි ක්‍රමයට ද වියදම් කළමනාකරණය කරලා කොහොම හරි හුස්ම ගන්න තත්ත්වය හදා ගන්නේ කියන තත්ත්වය හදනවා. විකුණන්න හෝ වසා දමන්න කටයුතු කරන්නේ නැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස