ලේක්හවුස් අවුරුද්දක අලාභය රු. ලක්ෂ 1500යි! එයින් රැස පත්තරේ පාඩුව ලක්ෂ 670යි! දවසට පත්තර 9000ක් ගැහුවත් 1000ක් විකිණෙන්නේ නෑ! – කෝප් සභාපති හඳුන්ට ලිපියක්

February 22, 2019 at 2:17 pm | by admin

ලේක්හවුස් සමස්ත පාඩුවෙන් අඩක් පමණ වර්තමාන ආණ්ඩුව විසින් ආරම්භ කළ රැස පුවත්පත නිසා සිදුවන බව ප්‍රකාශ කරමින් ඒ පිළිබඳ පර්යේෂණයක් කරන මෙන් ඉල්ලා එහි සේවක පිරිසක් විසින් කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්තිට ලිපියක් යවා තිබේ. මේ එම ලිපියයි.

“රැස” නිසා ලක්ෂ 670 ක අලාභයක්..!
====================================
පාර්ලිමේන්තු මන්ත්‍රී
ගරු සුනිල් හදුන්නෙත්ති මැතිතුමා
සභාපති,
පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ.

2019/02/21

“රැස පුවත්පතේ අලාභය “

2018 වසරේ ලේක්හවුස් මුළු අලාභය රුපියල් මිලියන 150 යි.
ඉන් හරි අඩකට ආසන්න මුදලක් එනම් රුපියල් මිලියන 67 ක් රැස පුවත්පත නිසා සිදු වු අලාභයකි.
“රැස පුවත්පත වැසුවොත් ලේක්හවුස් අලාභයෙන් භාගයක් ඉබේ අහෝසියි“
ලේක්හවුස් ආයතනයට 2018 වසරේ රුපියල් මිලියන 67 ක (රුපියල් ලක්ෂ 670) පාඩුවක් සිදු කළ රැස පුවත්පත සම්බන්ධයෙන්
විශේෂ පරික්ෂණයක් ඉල්ලා සිටීමු.
ලේක්හවුස් පනත අනුව සභාපතිට ඇති බලය අනුව පරීක්ෂණයක් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට පමණයි.

කමිටු සභාපතිතුමනි.

මහාභාරකාර දෙපාර්තමේන්තුවේ මහාබාරකාරතුමාගේ සෘජු අධීක්ෂණය යටතේ පාලනය වන ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතාගේ පාළනාධිකාරියේ සංකල්පයක් අනුව 2018 වසරේදී ආරම්භ කරන ලද රැස පුවත්පත පසුගිය වසරේදී රුපියල් ලක්ෂ 670 ක පාඩුවක් ලබා තිබේ. ලේක්හවුස් ආයතනය මේ වන විට දැවැන්ත මුල්‍ය අලාභයක් ලබමින් පවතී. ඒ අනුව 2018 වසරේ ලේක්හවුස් ආයතනයේ මුල්‍ය අලාභය රුපියල් මිලියන 150 කි (රුපියල් ලක්ෂ 1500 කි). එම මුල්‍ය අලාභයෙන් හරි අඩකට ආසන්න මුදලක් එනම් රුපියල් මිලියන 67 ක අලාභයක් සිදුව ඇත්තේ රැස දිනපතා පුවත්පත නිසාය. එනම් රුපියල් ලක්ෂ 670 කි.

එම අලාභය මසකට රුපියල් ලක්ෂ 57 කට ආසන්නය. ලේක්හවුස් ආයතනයේ රැස දිනපතා පුවත්පතේ මාසික සහ වාර්ෂික අලාභය පහත දැක්වෙන ලැයිස්තුව අනුව මනාව ඔබතුමා වෙත පැහැදිලිවනු ඇත. (සත්‍ය ලිපි ලේඛනවලින් උපුටා ගන්නා ලදී. අවශ්‍ය ඕනෑම මොහොතක මෙම ලිපි ලේඛන ඔබ කමිටුව වෙත අප විසින් ඉදිරිපත් කරමු.)

රැස පුවත්පතේ මාසික ආදායම් ලැයිස්තුව .

දිනකට අළෙවිවන පුවත්පත් සංඛ්‍යාව – පුවත්පත් 1000 අඩු පුවත්පත් ප්‍රමාණයක්.
*මාසික දැන්වීම් ආදායම – රුපියල් ලක්ෂ 8 කි.
( එය දින 22 ක පුවත්පත් සඳහා ලැබෙන දැන්වීම් ආදායම වෙයි. )
*මාසික (දින 22 ක) පුවත්පත් අළෙවි ආදායම – රුපියල් ලක්ෂ 12 කි.
රැස පුවත්පතේ වාර්ෂික වියදම් ලැයිස්තුව.

වාර්ෂික අමුද්‍රව්‍ය වියදම – රුපියල් ලක්ෂ 408 යි.
වාර්ෂික මුද්‍රණ වියදම – රුපියල් ලක්ෂ 156 යි.
වාර්ෂික වැටුප් වියදම – රුපියල් ලක්ෂ 216 යි.
වාර්ෂික විකුණුම් වියදම – රුපියල් ලක්ෂ 132 යි.
රැස පුවත්පතේ වාර්ෂික මුළු වියදම – රුපියල් ලක්ෂ 912 යි.

රැස පුවත්පතේ වාර්ෂික ආදායම් ලැයිස්තුව.

වාර්ෂික දැන්වීම් ආදායම – රුපියල් ලක්ෂ 96 යි.
වාර්ෂික පුවත්පත් අළෙවි ආදායම- රුපියල් ලක්ෂ 144 යි.
වාර්ෂික මුළු ආදායම – රුපියල් ලක්ෂ 240 යි.

වාර්ෂික මුළු අලාභය.

වර්ෂික මුළු වියදම – රුපියල් ලක්ෂ 912 යි.
වාර්ෂික මුළු අදායම – රුපියල් ලක්ෂ 240 යි.
වාර්ෂික මුළු අලාභය – රුපියල් ලක්ෂ 672 යි.
එනම් වාර්ෂික අලාභය රුපියල් මිලියන 67.2 කි.

ඉහතින් දැක්වු මුල්‍ය අලාභය අප ආයතනයට දැරිය නොහැකි පාඩුවකි. රැස පුවත්පත නිසා ආයතනයට වාර්ෂිකව රුපියල් ලක්ෂ 670 ක පාඩුවක් සිදු වීම අප ආයතනයේ මුල්‍ය අස්ථාවරත්වයට සෘජුවම බලපානු ලබයි. රැස පුවත්පතේ මුල්‍ය අලාභය වන මුදල අප ආයතනයේ සේවකයන්, කොටස්කරුවන් සහ මහජනතාවගේ මුදල් ය.

ලේක්හවුස් ආයතනයට අති විශාල පාඩුවක් සිදු කරනු ලබන රැස පුවත්පත දිනපතා පත්‍ර 9000 ක් පමණ මුද්‍රණය කළද ඉන් අළෙවි වනුයේ පුවත්පත් දහසකටද (1000) අඩු ප්‍රමාණයකි. එවැනි පුවත්පතක් තව දුරටත් පවත්වා ගෙන යන්නේ මන්දැයි සොයා බැලිය යුතුය. සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතාගේ සංකල්පයකට අනුව ඇරැඹි මේ පුවත්පත ලේක්හවුස් ආයතනයේ අලාභයෙන් භාගයකට හිමිකම් කීවද මේ පුවත්පත වසා නොදැමීමට හේතුව ලෙස සභාපතිවරයා දක්වා ඇත්තේ රැස දිනපතා පුවත්පත ආරම්භක කර්තෘ අභාවප්‍රාප්ත චාමර ලක්ෂාන් මාධ්‍යෙව්දී මහතාගේ මෑණියන් සහ පුතණුවන්ගේ ඉල්ලීමකට අනුවය.

එහෙත් ලේක්හවුස් වැනි ආයතනයක් දැවැන්ත මුල්‍ය අර්බුදයකට ලක්ව තිබියදි එක් අයකුගේ සිත සතුටු කිරීමට රුපියල් ලක්ෂ 670 ක් පාඩු ලැබීම දුෂිත කටයුත්තකි. එපමණක් නොව මේ වන විට ලේක්හවුස් දිනපතා දිනමිණ පුවත්පතට රජයෙන් ලැබෙන දැන්වීම් දිනමිණ පුපත්පතේ නොමිලේ පළ කර රැස පුවත්පතේ දැන්වීම් ලෙස පළ කරනු ලැබෙයි. ඊට හේතුව වී ඇත්තේ රැස පුවත්පත පාඩු නොලබන බව කෘතීමව පෙන්වීමය. අවසානයේ සිදු වනුයේ දිනමිණ නැමැති ජාතික පුවත්පත අලාභ බව පෙන්වීමය. වසර 100 කටත් වඩා පැරැණි දිනමිණ පුවත්පත විනාශ කිරීම අපරාධයකි.

මුල්‍ය අලාභයක් සහිතව පුවත්පතක් පවත්වාගෙන යාම ලේක්හවුස් ආයතනයේ අනාගත අස්ථාවරත්වයට සෘජුවම බලපානු ඇත. එබැවින් රාජ්‍ය මාධ්‍ය ආයතනයක් ලෙස ලේක්හවුස් ආයතනයේ ඉදිරි පැවැත්ම සහ සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාව වෙනුවෙන් රැස පුවත්පත සම්බන්ධයෙන් යම් තීන්දුවක් ගතයුතුය.

එබැවින් රැස පුවත්පතේ මුල්‍ය අලාභය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ අවධානය යොමු කර විශේෂ පරීක්ෂණයක් සිදු කරන මෙන් අප ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තුතියි.
මීට
ලේක්හවුස් සේවක/ සේවිකාවන්.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස