ලක්ෂ 3000ක වාහන ගේන කතාව බොරුවක්! ඇමතිවරුන්ට ඉන්ධන දීමනාවක් දෙන කතාවත් බොරුවක්! – බන්දුල

May 9, 2020 at 9:58 am | by emanisa.lk

රුපියල් ලක්ෂ 3000 ක් වටිනා වාහන අමාත්‍යාංශ වෙනුවෙන් මිල දී ගැනීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරී යන ප්‍රචාර සම්පූර්ණ අසත්‍ය හා ගොතන ලද ප්‍රවෘත්තියක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

එවැනි කරුණු ඇතුළත් කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් වී නොමැති බව ද හෙතෙම කීවේය. ඇමැතිවරුන්ට හෝ හිටපු රාජ්‍ය ඇමැතිවරුන්ට අමතර ඉන්ධන දීමනාවක් ලබාදීම සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය ලබා දී ඇති බවට පැතිරී යන ප්‍රචාර ද අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා කියා සිටියේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

මුදල් ඇමැතිවරයා විසින් ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අංක 15/1090/613/082 හා 2015.07. 14 වන දිනැති ඇමැති මණ්ඩල තීරණ පූර්වාදර්ශයක් කරගනිමින් අගමැතිතුමා විසින් 2020 මාර්තු 18 වැනි දින ඇමැති මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත. එම ඇමැති මණ්ඩල පත්‍රිකාව මඟින් අගමැතිවරයා නිර්දේශ කර ඇත්තේ අගමැති, කතානායක, විපක්ෂ නායක, ඇමැතිවරුන් සහ හිටපු රාජ්‍ය ඇමැතිවරුන් වෙත අනුයුක්ත කර ඇති නිල වාහන සහ නිල නිවාස තමන්ගේ පක්ෂයේ ප්‍රවර්ධන කටයුතු සඳහා හෝ මැතිවරණ කටයුතු සඳහා භාවිත කරන්නේ නම් නිල වාහනයකට මසකට ලක්ෂයක් හා නිල නිවාස සඳහා මාසිකව රුපියල් ලක්ෂයක් සිය පෞද්ගලික මුදලින් රජයට ගෙවිය යුතු බවට වන අතර ඇමැති මණ්ඩලය විසින් එම නිර්දේශ අනුමත කර ඇත.

එසේ වුව ද මැතිවරණ පැවැත්වෙන දිනය කල් දැමූ නිසා සහ මනාප අංක මෙතෙක් නිකුත් කර නොමැති හෙයින් ඉහත තීරණ ක්‍රියාත්මක කළ යුතු දිනය පිළිබඳව 2020 මැයි 06 වැනි දිනැති ඇමැති මණ්ඩලයේ දී සාකච්ඡා කරන ලද අතර එහිදී ඇමැති මණ්ඩලය තීරණය කර ඇත්තේ මනාප අංක නිකුත් කිරීමෙන් පසුව පමණක් අදාළ මුදල අගමැතිතුමාගෙන්, කතානායකතුමාගෙන්, විපක්ෂ නායකතුමාගෙන් සහ ඇමැතිවරුන්ගෙන් අය කර ගත යුතු බවයි. එසේ වුව ද හිටපු රාජ්‍ය ඇමැතිවරුන් ඉහත පහසුකම් භාවිත කරන්නේ නම් ඔවුන්ගෙන් අදාළ මුදල ඇමැති මණ්ඩල තීරණ ක්‍රියාත්මක වන 2020 මාර්තු 18 වන දින සිට ම බලපැවැත්වෙන පරිදි අය කළ යුතු බව ද තීරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස