ලංකා ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කාර්යාල සහ හයිබ්‍රිඩ් අධිකරණ යෝජනා ප්‍රතික්ෂේප කරයි!

March 21, 2019 at 6:57 am | by admin

ශ‍්‍රී ලංකා රජය මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප‍්‍රධාන යෝජනා දෙකක් ප‍්‍රතික‍්ෂේප කර ඇත. ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කාර්යාලය පිහිටුවීම හා හයිබ්‍රිඩ් අධිකරණය පිහිටුවීමේ යෝජනා ප‍්‍රතික‍්ෂේප කරන බව 40 වැනි මානව හිමිකම් සැසිවාරය අමතමින් විදේශ අමාත්‍ය තිලක් මාරපන ප‍්‍රකාශ කර ඇත.

තිලක් මාරපන මහතා ප‍්‍රකාශ කර ඇත්තේ විදෙස් විනිසුරුවන් මෙරටට ගෙන්වා ගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය හා ජනමත විචාරණයක් අවශ්‍ය බවයි.

එම නිසා මේ යෝජනා කෙසේවත් ක‍්‍රියාත්මක කළ නොහැකි බව හෙතෙම අවධාරණය කර සිටියේය.

මාරපන මහතා මෙම ප‍්‍රකාශය කළේ ශ‍්‍රී ලංකාවට හයිබ්‍රිඩ් අධිකරණයක් අවශ්‍ය බවට මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට් කළ ප‍්‍රකාශයකට පිළිතුරු වශයෙනි.

ශ‍්‍රී ලංකාව සියලු ක‍්‍රියාමාර්ග ගන්නේ ව්‍යවස්ථාවට අනුව බවත් ඇමැතිවරයා සඳහන් කළේය. මාරපන මහතාගේ මෙම ප‍්‍රකාශයත් සමග සමුළු ශාලාවේ රැස්ව සිටි දෙමළ ඩයස්පෝරා නියෝජිතයන් දැඩි නොසන්සුන්තාවකට පත් වූ බවක් දක්නට ලැබිණී.

ශ‍්‍රී ලංකාවට එල්ල කර ඇති යුද අපරාධ සම්බන්ධයෙන් මෙතෙක් ජාත්‍යන්තර ප‍්‍රජාව කිසිදු සාධාරණ විභාගයක් පවත්වා නැතැයි ද මාරපන මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් පැරණි සංවේදි හා සංකිර්ණ ගැටලු විසඳීම සඳහා කාලරාමුවක් ලබාදීම යුක්ති සහගත නොමැති බව ඔහු ප්‍රකාශ කළේය.

සෛවරී රටක් ලෙස ශ්‍රී ලංකාව තමන්ගේ ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් මූලිකවම කටයුතු කළ යුතුව ඇතැයි ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමග සමීපව කටයුත කරන බවත් ශ්‍රී ලංකාවේ විවිධත්වය අගය කරමින් සමාන අයිතිවාසිකම්, යුක්තිය වැනි කරුණුවලට ගරු කරමින් සමෘධිමත් රටක් ගොඩනැගීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර හිටපු ඇමැති ආචාර්ය සරත් අමුුණුගම ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර ප‍්‍රජාවට නිසි පිළිතුරක් ලබා දී ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස