මාධ්‍ය හිමිකරුවන්ට පවා තම මාධ්‍ය නාලිකා එපා වී පිළිකුල් කරන තැනට පත්ව ඇති බව දෙරණ මාධ්‍ය ජාලයේ වරුණි අමුණුගම මහත්මිය දෙරණ මැදිරියකම සිට කළ කතාවකින් පැහැදිලි වෙනවා. මං හිතන්නෙ එතන හිටිය සංඛට හා චතුරට ලැජ්ජ හිතන්නෙ ම වරුණි කතා කළා. මේ මයික් මල්ලිලාට ගොඩක් ඉදිරියෙන් ඒවාහි හිමිකරුවන් ඉන්න බව එම සාකච්ඡාවෙන් පෙනී ගියා. මට නිශ්චිත ව කිව හැකි දෙයක් වන්නේ දිලිත් ජයවීරවවත් දෙරණ නොබලනු ඇති බවයි.
සාර්ථක ව්‍යාපාරිකයෙකු වන දිලිත් දිනපතා තම මනස ඍණාත්මක කුණුකන්දල්වලින් වසාගෙන තම ව්‍යවසායිකත්වය විනාශ කරගනු ඇති බව මම හිතන්නෙ නැහැ. මේක දෙරණ ගැන විතරක් කතාවක් නෙමෙයි. මේකම කරන හිරු මාධ්‍ය ජාලයේ රෙනෝ සිල්වාවත්, සිරස නාලිකාවේ ෂෙවාන් ඩැනියල්වත් තම නාලිකා බලනු ඇති බව හිතන්න අමාරුයි. ඔවුන් දන්නව ඒව බැලුව නම් තමන්ට සාර්ථක ව්‍යාපාරිකයින් වෙන්න බැහැ කියල. හැබැයි අවාසනාව කියන්නෙ ඔවුන් ම නොබලන නාලිකාවල කුණු කන්දල් ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් රටට පෙන්වන්න ඉඩ දීල තියෙනව.
රටක් ලෝකයක් දැවැන්ත අර්බුදයක ඉන්න අවස්ථාවක මිනිස්සුන්ට දෙන්න ඕන අලුතින් හිතන්න, ගොඩ එන්න ඕන දේවල්. ජර්මනිය විනාශ ම වෙලා තිබුණ අවස්ථාවක සාහිත්‍යකරණයේ යෙදුණු, පසුකාලීනව නොබෙල් ත්‍යාගය පවා හිමිකරගත් Heinrich Boell යුද්ධයේ සුන්බුන් මැද පවා දිදුලන මිනිස් අපේක්ෂා, බලාපොරොත්තු මතුවෙන නවකතා ලිව්ව. මිනිස්සුන්ට නැගිටින හැටි කියල දුන්න. ඒත් ලංකාවේ මාධ්‍ය කරන්නෙ වැටුණු එක පාගල තවත් බිම දාන එක.
මං හිතන්නෙ අද කාලෙ ගොඩක් අය ප්‍රවෘත්ති බලන්නෙ නෑ. දේශපාලන සංවාද අහන්නෙ නෑ. ඊට හේතුව ඒව බොහෝමයක් පවතින ජනතා හැඟීම් එක්ක නොපෑහීම. මාධ්‍ය ඉන්නෙ තාම ගල් යුගයේ. ඒවාහි සේවය කරන, අඩංගු නිර්මාණය කරන අයට තියෙන්නෙ ගෝත්‍රික මනස්. ලංකාවේ නව ජනමාධ්‍ය සම්ප්‍රදායක් අත්‍යවශ්‍ය ම මොහොත ඇවිත් කියන එකට පෙරනිමිත්තක් මේ සියල්ල.
මහින්ද පතිරණ