ලංකාවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වසර දෙකයි…! සය වසරකට පසු ප්‍රංශ ත්‍රස්ත ප්‍රහාර නඩුව ඇරඹේ….!

September 10, 2021 at 10:46 am | by emanisa.lk

130 දෙනකුට මරු කැඳවමින් ප්‍රංශයේ පැරිස් නුවර ස්ථාන කිහිපයකට 2015 වර්ෂයේ නොවැම්බර් 13 දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ නඩු විභාගය සිද්ධියෙන් වසර හයකට පසුව පෙරේදා (8) පැරිස් නුවර පලයිස් ඩි ජස්ටිස් අධිකරණ ශාලාවේදී ආරම්භ කෙරිණි.

අවන්හල්, බැටක්ලන් ප්‍රසංග ශාලාව සහ Stade de France ක්‍රීඩාංගණය ඉලක්ක කර ගනිමින් තුවක්කුකරුවන් සහ මරාගෙන මැරෙන ප්‍රහාරකයන් නව දෙනකු විසින් එල්ල කරන ලද මේ ප්‍රහාර මාලාවේදී 416 දෙනකු තුවාල ලැබීය.

සිද්ධියෙන් වසර හයකට පසු නීතිඥයන් 330ක් සහ පැමිණිලිකරුවන් 1,800කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ කර ගනිමින් මේ නඩු විභාගය මැයි මාසය දක්වා පැවැත් වීමට ප්‍රංශ රජයට මිලියන ගණනක් වැය වේ.

පැරිසියේ ඓතිහාසික පලයිස් ඩි ජස්ටිස් අධිකරණ ශාලාවේ රන් ආලේපිත ගේට්ටුවලට පිටුපස විශේෂයෙන් සැලසුම් කරන ලද අධිකරණ ශාලාවක ප්‍රංස ජාතික සාලාහ් අබ්දෙස්ලම් සහ අනෙක් පිරිස වෙඩි නොවදින ආරක්ෂක කුටියක රඳවා තිබිණි. 31 වියැති අබ්දෙස්ලාම් 2015 නොවැම්බර් මස 13 දා එම ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් එකම ප්‍රහාරකයා බව පොලිසිය විශ්වාස කරයි.

මේ ප්‍රහාරය සඳහා තුවක්කුකරුවන් හා මරාගෙන මැරෙන ප්‍රහාරකයන් 9 දෙනකු එක්ව සිටි අතර, ඔවුහු අවන්හල්, බැටක්ලන් ප්‍රසංග ශාලාව සහ Stade de France ක්‍රීඩාංගණයට ප්‍රහාර එල්ල කළහ. ප්‍රංශ පොලිසිය පවසන්නේ මේ ප්‍රහාරකයාට අයත් පුපුරන ද්‍රව්‍ය සහිත මරාගෙන මැරෙන බඳපටිය පුපුරා නොයෑම හේතුවෙන් ඔහු මරණයට පත් වී නැති බවයි. ඔහුගේ සහෝදරයකුද මරාගෙන මැරෙන බෝම්බකරුවකු ලෙස මේ ප්‍රහාරයට සම්බන්ධ වී ඇත. කෙසේ වුවද ප්‍රහාරය පිළිබඳ කෙරුණ විමර්ශන හමුවේ කතා කිරීම ඔහු ප්‍රතික්ෂේප කර තිබිණි.

නඩු විභාගය ආරම්භයේදී විනිසුරුවරයා විසින් තමන් හඳුන්වා දෙන ලෙස පැවසූ විට අබ්දෙස්ලාම් පවසා ඇත්තේ එකම දිව්‍යමය දෙවියන් වහන්සේ අල්ලාහ් බවත් මුහම්මද් නබිතුමා ඔහුගේ පණිවිඩකරුවා බවත්ය. වෘත්තිය ලෙස ‘ඉස්ලාමීය රාජ්‍යය සඳහා සටන්කරුවකු‘ බව ඔහු ප්‍රකාශ කර තිබේ. ඔහුට අමතරව තවත් සැකකරුවන් 19 දෙනකුට තුවක්කු සහ වාහන දීමට උදව් කිරීම හෝ යුරෝපයේ වූ විශාලතම අයිසිස් ප්‍රහාරය සංවිධානය කිරීමේ කාර්යභාරයක් ඉටු කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 19 දෙනකුට චෝදනා එල්ල වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස