ලංකාවේ දූෂිතම ආයතනය කතානායකගේ ව්‍යවස්ථාදායක සභාවයි! එය කුමන්ත්‍රණ ගුහාවක්!

February 21, 2019 at 7:40 am | by admin

දැනට ලංකාවේ ඇති දූෂිතම ආයතනය කතානායක නායකත්වය දරන ව්‍යවස්ථාදායක සභාව බවත් ඒ තුළ සිදුවන කුමන්ත්‍රණ හෙළි කරන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැති මාධ්‍ය හමුවේ දී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

මේ වන විට ලංකාවේ තිබෙන දූෂිතම ආයතනය බවට කතානායකවරයාගේ නායකත්වයෙන් තිබෙන ව්‍යවස්ථාදායක සභාව පත් වෙලා තිබෙනවා. මුදුන කුණු වුණාට පස්සේ ගස කුණුවී මියයාම ගැන කතා කරලා වැඩක් නෑ. සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම සමස්ත සමාජයම කුණුවීමේ ප්‍රතිමූර්තිය විදියට ඒ මූලාරම්භය බවට පදනම බවට කතානායකවරයාගේ සභාපතිත්වයෙන් තිබෙන ව්‍යවස්ථාදායක සභාව පත් වෙලා තිබෙනවා. හෙට දිනයේ එම ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ යෝජනාව ඉදිරිපත් කිරීමේ අවස්ථාව මට ලැබිලා තියෙනවා. ඒ අවස්ථාවේදී මං හෙළි කරන්න බලාපොරොත්තු වෙනවා ව්‍යවස්ථාදායක සභාව ඇතුළේ තිබෙන කුමන්ත්‍රණ. එක පක්ෂයක් විසින් විනිශ්චකරුවන්ට විරුද්ධ වෙනවා. මොනවද ඕකට තියෙන සාක්ෂි කියලා ප්‍රශ්න කරාම වෙනත් පක්ෂයක සාමාජිකාවක ගේ බෑග් එකෙන් තමයි සාක්ෂි ටික එළියට එන්නේ. ඉතින් මේ කුමන්ත්‍රණ සියල්ල අපි හෙට දිනයේ හෙළි කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම රටේ ජනාධිපතිතුමාත් විපක්ෂ නායකතුමාත් මෙම විවාදයේ දී ව්‍යවස්ථාදායක සභාව රෙදි ගලවලා එහි කැත නිරුවත ලෝකෙට ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තු වෙනවා.

බලය වෙන්කිරීමේ න්‍යාය අනුව ජනාධිපතිවරයා පත් කරන්නේ ජනතාව. ඉවත් කරන්නේ අධිකරණයේ නිර්දේශය මත පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තුව පත්කරන්නේ ජනතාව. ඉවත් කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට. අධිකරණය සම්බන්ධයෙන් මේ බලය අනිත් ආයතන දෙකට දීලා තියෙනවා. ලෝකය පුරාම පවතින තත්ත්වය තමයි විධායකය පත්කරනවා අධිකරණයට විනිසුරුවරුන් ඉවත්කිරීමේ විනය පාලනය කිරීමේ බලය ව්‍යවස්ථාදායකයට තියෙනවා. අද මොකද වෙලා තියෙන්නේ? මෙතෙක් කල් ජනාධිපතිවරයා සතුව තිබුණු විනිශ්චකරුවන් පත් කිරීමේ බලය ව්‍යවස්ථාදායක මණ්ඩලයට දීලා තියෙනවා. ව්‍යවස්ථාදායක සභාවේ පාලනය තියෙන්නේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලය තිබෙන අයට. මුලසුන දරන්නේ ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා වන කතානායක. දැන් විනිසුරුවරුන් පත් කිරීමත් ඉවත් කිරීමත් යන කාරණා දෙකම තියෙන්නේ ව්‍යවස්ථාදායකය අතේ. බලය බෙදීමේ න්‍යාය එහෙම්පිටින්ම කුඩුපට්ටම් කරලා තියෙනවා. ඒ නිසා අද විනිශ්චකාරවරුන් ව්‍යවස්ථාදායකයට බයේ හැසිරෙනවද කියන සාධාරණ සැකය අපිට තියෙනවා.

පසුගිය සිකුරාදා ආණ්ඩුව ප්‍රධාන ඇමති කෙනෙක් සහචරයෙක් ව ගම්මිරිස් ජාවාරමට සම්බන්ධ ඒ වගේම බීඩි කොළ ජාවාරමට සම්බන්ධ. අමාත්‍යවරයෙක් ඒ සහචරයෙක් අත්අඩංගුවට ගත්තම රේගු ආඥා පනත උල්ලංඝණය කරමින් ඔහුට ඇප ලැබෙනවා. මාධ්‍ය මේ කාරණය මතු කළේ නැත්නම් ඔහු තවමත් නිදැල්ලේ. මාධ්‍යවලින් නැඟුණු හඬ නිසා ඇප දීලා එළියට යවපු පුද්ගලයා පොලිසියට අයිතියක් නෑ ඇප දීලා එළියට ගිය පුද්ගලයා අරගෙන ඇවිල්ලා ආපහු උසාවියට ඉදිරිපත් කරන්න. උසාවියට ඉදිරිපත් කරනවා විතරක් නෙවෙයි මහේස්ත්‍රාත් කෙනෙකුට බෑ තවත් මහේස්ත්‍රාත් කෙනෙක් දුන්න ඇප නියෝගයක් වෙනස් කරන්න. මේ දෙකම සිද්ධ වෙනවා මොකද මාධ්‍යයෙන් නැගුණු පීඩනය නිසා. ඉතින් මේ සරල කාරනේ මාධ්‍ය දැනගෙන හිටියේ කාරණය මහේස්ත්‍රාත්වරයා දන්නෙ නැද්ද? එහෙමත් නැත්නම් මේ ප්‍රබල අමාත්‍යවරයාගේ මිත්‍ර ව්‍යාපාරිකයාට ඇප ලබා නොදීමෙන් මාගේ අනාගත උසස්වීම් වලට බාධාවක් ඇතිවේයැයි මෙම මහේස්ත්‍රාත්වරයාට හිතුනාද එහෙම හිතුණොත් එහෙම හිතෙන්න පසුබිම සකසා ඇත්තේ දේශපාලනිකව පක්ෂග්‍රාහීව කටයුතු කරන කරු ජයසූරිය මැතිතුමාගේ ව්‍යවස්ථාදායක සභාව කියන එක අපි සිහිපත් කරන්න ඕනෑ.

ඒ නිසා අද ව්‍යවස්ථාදායක සභාවේ බහුතරය පත්කරන්න ඕන අගමැති සහ විපක්ෂ නායක ඒකාබද්ධ වී පස් දෙනෙකු පත් කිරීමෙන්. හැබැයි මෙතෙක් කල් අපේ හිටියේ ආණ්ඩුව විසින්ම තෝරා පත් කරගත් ආණ්ඩුවේ වලිගය විදිහට හැසිරුණු විපක්ෂනායකවරයෙක්. ඒ නිසා අගමැති සහ විපක්ෂ නායක එකට එකතු වුනාම ඔබ කිව්ව එකටත් හා කියන්න ඉන්න එකටත් හා ඔබට කැමති කෙනෙක් පත් කරගනු මැනවි කියලා. දැන් ඒ අවාසනාවන්ත තත්වය නිවරදි වෙලා සැබෑ විපක්ෂ නායකයාට විපක්ෂ නායකධූරය හිමිවෙලා තිබෙනවා. නමුත් ව්‍යවස්ථාදායක සභාව නිවැරදි කරගැනීමට සදාචාරය නෑ.. හිටපු විපක්ෂ නායක වත්මන් අගමැති පත් කරපු සාමාජිකයන් පස් දෙනාගෙන් චමල් රාජපක්ෂ මැතිතුමා විතරයි සිය ඉල්ලා අස්වීම ලබා දුන්නේ. අනෙක් හතර දෙනාම තවදුරටත් තනතුරේ රැඳී සිටීමෙන් ව්‍යවස්ථාදායක සභාවේ ආණ්ඩුවට පක්ෂග්‍රහි විකෘති ස්වභාවය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා වත්මන් විපක්ෂ නායකවරයාගේ ද එකඟතාවයෙන් අලුත් සාමාජිකයන් මෙයට පත් කරන්න ව්‍යවස්ථාදායක සභාවේ සදාචාර විරෝධීව රැඳී සිටින සාමාජිකයන්ට යුක්තියේ නාමයෙන් සාධාරණත්වයේ නාමයෙන් ඉල්ලා අස්වෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.

– අරවින්ද අතුකෝරල

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *