රෝයල් පාක් ඝාතකයාට සමාව දීලා මම සතයක් ගත්තේ නෑ…! නිදහස දුන්නේ රතන හිමිගෙන් බේරෙන්න බැරිකමට..! මට බලපෑම් කළ අය නම් කෝටි ගාණක් අරන්…!

June 21, 2022 at 2:01 pm | by emanisa.lk

රෝයල් පාර්ක් ඝාතනයට සම්බන්ධ බවට වරදකරු වී ජීවිතාන්ත සිරදඩුවමක් භුක්ති විදිමින් සිටි ජූඩ් ෂර්මන්තට ජනාධිපති සමාව ලබා දීම වෙනුවෙන් තමන් කිසිදු මුදලක් නොගත් බවත්, නමුත් යම් කිසි පාර්ශ්වයක් විසින් ඒ සදහා මුදල් ලබාගෙන ඇති බව දැන ගන්නට ලැබුණු බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

දෙරණ 360 වැඩ සටහනට සහභාගී වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

“රෝයල් පාර්ක් ඝාතකයාගේ කතාව ගැන සමාජය තුළ ගොඩනැගිලා තියෙන මතය සම්පූර්ණයෙන්ම වැරදියි. ඒ කියන්නෙ ඒ තරුණයා හිර දඬුවම් විඳලා තියෙනවා ඔය නිදහස් කරන කාලය වෙනකොට අවුරුදු 12ක්. ඒ අවුරුදු 12 ඔහු ඉතා ම හොඳ චර්යාවෙන් ඉඳලා තියෙනවා. මම තරම් ජනාධිපති කාලේ හිරගෙවල්වලට ගිහින් නැතුව ඇති කවුරුවත්. ඒ හිරගෙවල් අපායක්. එහෙම ගිහිල්ලා මම එකසැරේ 700 –800 නිදහස් කරලා තියෙනවා වෙසක් එකට, නිදහස් දිනයට. ඒ මොකද මේ තරුණයො එහෙම ඉන්නවා අවුරුදු 18 –19 ළමයි, බලපුවාම දුකේ බෑ ඇත්තටම.

මෙහෙම හිරගෙවල්වල ගිහිල්ලා නිදහස් කරන කොට මාව දවසක් හම්බෙන්න ආවා අතුරලියේ රතන හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ ආවෙ තනියම නෙවෙයි, මට කියන්නෙත් නැතුව ඔය රෝයල් පාර්ක් තරුණයාගේ පවුලේ අයත් එක්ක ආවෙ. පැජට් පාරේ ගෙදරට ආවෙ. මේගොල්ලො ලොකු ලියුම් මිටියකුත් අරගෙන ඇවිල්ලා කිව්වා අපේ පුතා දැන් අවුරුදු 12ක් හිරේ ඉන්නවා, කිසිම වැරැද්දක් කරලා නෑ. ඒ වගේම උපාධිය පාස් කරලා තියෙනවා. දැන් පශ්චාත් උපාධියට රෙජිස්ටර් වෙලා පාඩම් කරනවා. ඒක නිසා මෙයාව නිදහස් කරන්න කියලා ඉල්ලීම කළා. මම ඒක සත පහකටවත් ගණන් ගත්තෙ නැහැ. මම සද්ද නැතුව නිකම් හිටියා. මම මේ තරුණයා දැකලත් නැහැ.

ඊට පස්සෙ මම දන්නෙත් නෑ වරින්වර රතන හාමුදුරුවෝ එනවා රෝයල් පාර්ක් පවුලේ අයත් එක්ක. සමහර වෙලාවට හවස 8ට 9ටත් එනවා, හාමුදුරුවෝ ඇවිල්ලා කියනවා කොහොම හරි මේක කරලා දෙන්න කියලා. උන්වහන්සෙට තිබ්බ උනන්දුව මොකක්ද කියලා ඇත්තටම ඉතින් මට කියන්න බෑ, අර පවුලත් ක්‍රිස්තියානි පවුලක්. උන් වහන්සෙට තිබ්බ සම්බන්ධය මොකක්ද කියලා මට කියන්න බෑ. ඊළඟට දැනට අපවත් වෙච්ච බද්දේගම සමිත හාමුදුරුවොත් මාව හම්බෙන්න ඇවිල්ලා ලියුමක් දුන්නා. ඔය රතන හාමුදුරුවොයි ඒගොල්ලො දුන්න ලියුම් අතරේ තිබුණා සමහර බිෂොප්වරුන්ගේ, විශ්‍රාමික විනිසුරුවරුන්ගෙ, නායක හාමුදුරුවරුන්ගෙ ලිපි හුඟාක් තිබුණා. එතකොට දැන් හතර පස් සැරයක් ඇවිල්ලා රතන හාමුදුරුවෝ මේ පවුලේ අයත් එක්ක මට බේරිල්ලක් නෑ. මම ඒ සැරේ කිව්වා මම එහෙම නම් මේක අධිකරණ අමාත්‍යාංශයට යොමු කරන්නම් කියලා.

ඒ ලියුම් අමාත්‍යාංශයට ඇරියා. අධිකරණ අමාත්‍යාංශයේ සංවිධානයක් තියෙනවා සිරකරුවන් පිළිබඳව. ඒකෙ මහාචාර්යවරු එහෙමත් ඉන්නවා. කොමිටියෙ 7ක්ද 9ක්ද කොහෙද ඉන්නවා. ඒ කොමිටිය මේ ලියුම් ටික ඇරියා බන්ධනාගාර කොමසාරිස්ට. ඒක සාමාන්‍ය ක්‍රමය. ඔහු මේ ලියුම් බලලා අධිකරණ අමාත්‍යාංශයට එව්වා මේ තරුණයාගෙ කල්ක්‍රියාව හොඳයි, ඒ නිසා නිදහස් කිරීමට නිර්දේශ කරනවා කියලා. ඊට පස්සෙ අධිකරණ අමාත්‍යාංශයත් මට එව්වා මෙයා නිදහස් කිරීම සුදුසුයි කියලා. ඊටපස්සෙ මම මගේ ජනාධිපති කාර්යාලයේ නීතීඥයින්ගෙන් ඇහුවාම ඔවුනුත් කිව්වාම මේකෙන් ප්‍රශ්නයක් නෑ කියලා ඇත්තටම මම අත්සන් කළා. ඉතින් ඕක තමා සිද්ධ වුණේ.

ඊළඟට කාලයක් යනකොට මේ ගැන නොයෙක් වැරදි මත සමාජය තුළ පැතිරෙන්න පටන් ගත්තා. මේ තරුණයා නිදහස් කරන්න මම කෝටි 5ක් අරන් කියනවා, කෝටි 800ක් අරන් කියනවා, මේ විදිහේ කියනවා. ඉතින් මම ඒ කාලෙ හිටපු බුද්ධි අංශ නිලධාරීන්ට කිව්වා මේ ගැන ටිකක් හොයන්නයි කියලා. ඇත්තටම පස්සෙ හොයාගෙන යනකොට පවුලේ අය යම්කිසි මුදලක් කාට හරි දීලා තියෙනවා. මම නම් සත පහක්වත් අරගෙන නෑ. මේකට බොහෝ සේ උනන්දුවෙලා තියෙන්නෙත් මුදල් ගත්තු ඒ අය වෙන්න පුළුවන්.

නමුත් පසුව මම මේක ගැන පරික්ෂණ කරන්න ගියාම බොහොම ප්‍රශ්න මතුවුණා. නොයෙකුත් විදියට හැසිරෙන්න ගත්තා ඔය මාව ඇවිල්ලා හම්බුවෙච්ච අය. පස්සෙ මම අල්ලලා දාලා නිකම් හිටියා. මගෙ දරුවොත් මට දොස් කිව්වා තාත්තා මොකටද මේ අවසාන වෙලාවේ මේ කුණු ගොඩකට කරගැහුවෙ කියලා. ඉතින් එතන ලොකු වැරැද්දක් සිදුවෙලා තිබෙන බව මටත් පේනවා. හැබැයි මම නම් සතේක වංචාවක් කරලා නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස