රොෂාන් කියන්නේ 2010 යූඇන්පියෙන් නොමිනේෂන් දුන්නේ නෑ කියලා අඬද්දි මම දේශපාලනේට ගෙනා කෙනෙක්! – මෛත්‍රී

July 17, 2020 at 8:34 am | by emanisa.lk

දැන් තැන තැන ඇවිදිමින් තමාට බැණ වදින ජපන් මහත්තයා 2010 එජාපයෙන් තරඟ කිරීමට අවස්ථාව නොලැබුණු නිසා තමන්ට පිං සෙන්ඩු වී පොළොන්නරුවෙන් දේශපාලනයට පැමිණි අයකු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඉකුත් 15 වැනිදා පොලොන්නරුව බකමූණ ප‍්‍රදේශයේ පැවැති ජන හමුවකදී ඔහු මේ බව පැවසීය.

“දැන් මේ බජව් දාගෙන අරවා මෙව්වා කිය කියා මට බැන බැන, යන පුංචි මහත්තුරු ඉන්නවා නේ ගොඩක්. ඒ මම දේශපාලනයට ගෙනාපු අය. මම ඔය මොරගහකන්ද කැලේට රිංගන කොට, බකමූණ පාර කපන කොට මම දන්නෙ නෑ ඒ අය ලංකාවේ හිටියද නැද්ද කියලා.

ඒගොල්ලො ජපානෙ හිටියේ බිස්නස් කර කර. 2010 දී ආවා මාව හම්බෙන්න මගෙ මල්ලිත් එක්ක. අර ජපන් මහත්තයා සුදු එක්කෙනා 2010 දී අපේ කොළඹ ගෙදරට ආවා. අපේ ඩඩ්ලි එක්ක ආවේ. අයියා මෙයා පොළොන්නරුවේ. ජපානෙ හොඳ බිස්නස්කාරයෙක් කිව්වා. ඉතින් බොහොම හොඳයි මොකෝ මේ ආවේ කියලා මම ඇහුවා. ‘මම රනිල් වික‍්‍රමසිංහ මහත්තයා හම්බෙන්න තුන් සැරයක් ගියා යූඑන්පී එකෙන් ටිකට් එක අරගන්න. දැන් 2010 ඡුන්දෙ ළඟයි. ඉතින් මම ඇහුවා මොකද වුණේ කියලා. අර්ල් ගුණසේකර මහතා යන්න දෙන්නේ නෑ රනිල් හම්බෙන්න. ඒක නිසා මම මෙහෙ ආවේ සර් හම්බෙන්න’ කියලා කිව්වා. මම ඉතින් කිව්වා ප‍්‍රශ්නයක් නෑ ඔයා ව්‍යාපාරිකයෙක්නෙ පොළොන්නරුවෙ මම මේක හදලා දෙන්නම් කියලා. ‘අනේ නෑ සර් මට තව එක සැරයක් දෙනවාද සිරිකොතට ගිහින් එන්න’ කියලා මේ ජපන් මහත්තයා කිව්වා.

එතකොට මං කිව්වා එහෙනම් ඔයා එහෙන් ට‍්‍රයි එකක් දෙන්න. පුළුවන්නම් එහෙනම් අරගන්න කියලා. සුමානෙකින් විතර පස්සේ මිනිහා තනියම ආවා. ඩඩ්ලි නෑ. මම ඇහුවා මොකද කියලා. ‘හරියන් නෑ සර් වැඩේ සර්ම දෙන්න මට’’ කියලා කිව්වා. ඊට සුමානෙකින් පස්සේ මම මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟට එක්ක ගියා. ගිහිල්ලා පොළොන්නරුව දිස්ත‍්‍රික් සංවිධායක කරලා 2010 ඡුන්දයට දැම්මා. ඔන්න දැන් පේනවනෙ සෙල්ලම. අර අම්මට තාත්තට ගහන ළමයි ඉන්නව නේද. මෙයාලත් අන්න එහෙම ළමයි. ඉතින් ඒව ගැන කතා කරලා වැඩක් නෑ. කරන්න දෙයක් නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස