රූපවාහිනියට ලක්ෂ තුනහමාරක් පඩි කන අධ්‍යක්ෂ කෙනෙක්!

February 8, 2019 at 10:23 am | by admin

ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපතිනිය විසින් නීති විරෝධි ලෙස කාර්ය මණ්ඩල අධ්‍යක්ෂවරයකු පත් කරගෙන මාසිකව රු. තුන් ලක්ෂ පනස් දහක වැටුපක් ගෙවන බව වාර්තා වෙයි.

ජාතික රූපවාහිනි අනුමත කාර්ය මණ්ඩලය තුළ අධ්‍යක්ෂ (අලෙවි) තනතුරක් තිබියදී කොන්ත්‍රාත් පදනමින් එකී තනතුර සඳහා පුද්ගලයෙකු බදවා ගැනීම මුළුමනින්ම නීතී විරෝධි බව පවසමින් විගණකාධිපති විසින් 2018.08.15 වන දින නිකුත් කර ඇති විගණන පරික්ෂාවකට අදාළ වාර්තාව අනුව එකී පුද්ගලයා ඉවත් කරන ලෙස වෘත්තීය සමිති විසින් දිගින් දිගටම ඉල්ලා තිබිණ. මෙම පුද්ගලයාට රුපියල් 350,000 ට ආසන්න මුදලක් මේ වන විට මාසිකව ගෙවමින් තිබේ.

නමුත් විගණකාධිපතිවරයා විසින් පෙන්වා දෙන්නේ මෙම පුද්ගලයාට සිදු කරන සියළු ගෙවීම් මෙන්ම අදාළ පත්කිරීමත් නීති විරෝධි බවයි. විගණකාධිපති වාර්තාව පෙන්වා දෙන්නේ මෙවැනි විශාල ගෙවීමක් සිදු කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ විශේෂ අනුමැතිය ලබා ගත යුතු වුවත් එවැනි කිසිදු අනුමැතියක් පාලනාධිකාරිය විසින් ලබා ගෙන නොමැති බවයි.

ඒ අනුව අදාල පත්වීම මුළුමනින්ම නීති විරෝධි වේ. එමෙන්ම අදාල පුද්ගලයා ආතනයේ අලෙවි ඉලක්ක කරා ළඟා කර ගැනීමට අසමත් වු අයෙකු බවත් විගණකාධිපති වාර්තාව පෙන්වාදෙයි. තත්ත්වය එසේ තිබියදී විගණකාධිපති වාර්තාවට පිටුපා අධ්‍යක්ෂ ජනරාල් සාරංග විජයරත්න නැමැත්තා විසින් මෙම පුද්ගලයාට නැවතත් වසරක සේවා දිගුවක් 2018.12.20 වන දින ලබා දී ඇත. අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියට යටත්ව යැයි පවසමින් ලබා දී ඇති මෙම සේවා දිගුව තත්වය තවත් උත්සන්න කර ඇති බව මේ පිළිබඳව අදහස් දක්වමින් විගණකාධිපති කාර්යාලයේ නිලධාරියෙකු අප සමඟ පැවසීය.

එමෙන්ම මෙලෙස රාජ්‍ය සම්පත් අවපරිහරණය කරන දූෂිත නිළධාරීන්ට එරෙහිව නව විගණන පනත මගින් අධිභාර පනවා අදාල මූල්‍ය හානි ඊට සම්බන්ධ සියළු නිළධාරීන්ගෙන් අයකර ගැනීමට කටයුතු කරන බව ද ඔහු අවධාරණය කළේය. එමෙන්ම රූපවාහිනී සංස්ථාව සදහා තවමත් අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර නොමැති පසු බිමක මෙවැනි අත්තනෝමතික පත් කිරීම් සිදු කිරීම බලවත් දූෂණයක් සහ අක්‍රමිකතාවයක් බවට සේවක පිරිස් ද චෝදනා කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස