රුසියානු ගුවන් යානය පිළිබඳ සිදුවීමේ දී අධිකරණයේ පිස්කල්වරයා සහ අයර්ලන්ත සමාගමේ නීතීඥ අරුණ ද සිල්වා අධිකරණය නොමග යවමින් කටයුතු කර ඇති බව අද (06) අධිකරණයේ දී අනාවරණය විය.
මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග ප්‍රකාශ කළේ, ඔවුන් දෙදෙනා බරපතළ වරදක් සිදුකර ඇති බවත් එමගින් අධිකරණ බලය අයුතු ලෙස පරිහරණය කර ඇති බවත්ය.
සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂවරයා වෙත ගුවන් පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව මගින් පවරා ඇති බලතල මෙම වාරණ නියෝගය මගින් උල්ලංඝනය වන අතර එමගින් රාජ්‍ය ප්‍රතිපත්ති උල්ලංඝනය වීමක් ද සිදුව ඇතැයි එවැනි වාරණ නියෝගයක් ලබා දීමට අධිකරණයට බලයක් නැතැයි ද නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේඛ සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන පෙන්වා දුන්නේ ය.
අනතුරුව විනිසුරුවරයා අදාළ වාරණ නියෝගය අත්හිට වූ අතර අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අවධාරණය කළේ බරපතළ වරදක් කළ පිස්කල්වරයාට සහ නීතීඥවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.