ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ මත පලඳවන ලද චූඩා මාණික්‍ය සත්‍ය චූඩා මාණික්‍යයක්ද හුදු වීදුරු ගලක්ද යන්න නිසි රස පරීක්‍ෂණයක් මගින් තහවුරු කරගත හැකි බවත් මහා සංඝරත්නය සහ වත්මන් රාජ්‍ය නායකයන් අපහසුතාවට පත්කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සමාජගත කරමින් සිටින චෝදනා එකහෙළා ප්‍රතික්‍ෂේප කරන බවත් නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ස්වර්ණමාලී චෛත්‍යරාමාධිකාරී පල්ලේගම හේමරතන හිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව කියා සිටින්නේ ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ මත පලඳවන ලද චූඩා මාණික්‍ය හා රාජපක්‍ෂලාගේ කෝටි 15,000ක රුවන්වැලි සෑයේ මැණික් මංකොල්ලය මේ රටට වැදුණේ ඒ සාපය’යන මැයෙන් අන්තර්ජාලයට මුදාහැර තිබෙන වීඩියෝ පටය සම්බන්ධව වහා පරීක්‍ෂණයක් කර මෙම අනුජ ජයසිංහ සහ ජයලත් නම් වූ පුද්ගලයන්ට නිසියාකාරව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පති චන්දන වික්‍රමරත්නගෙන් ඉල්ලා සිටිමින් යොමු කළ ලිපියකිනි.
පිටු හයකින් සමන්විත එම ලිපියේ කරුණු ගණනාවක් අඩංගු වන අතර පල්ලේගම හේමරතන හිමියෝ එම ලිපිය පොලිස්පතිවරයා වෙත යොමු කරමින් ඉල්ලා සිටින්නේ උක්ත වීඩියෝ පට කඩිනමින් අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසය. ලෝකවාසී දහස් ගණන් ජතාව ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේ වන්දනාමානයට බැතිමත්ව සැදී පැහැදී සිටින බැවින් මෙවන් අතිශය සාවධ්‍ය හා අභූත තොරතුරු අසන්නට ලැබීම හේතුවෙන් ඔවුන්ගේ සිත් කිලිටිවීම වැළැක්වීමට එමගින් හැකිවන බව ද එහිමියන් සඳහන් කර ඇත.
පල්ලේගම හේමරතන හිමියන් එම ලිපිය මගින් පෙර කී වීඩියෝවෙන් නැඟූ පහත සඳහන් සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.
“පැරණි චූඩා මාණික්‍යය පාදමේ තිබූ කෝටි 15,000ක් පමණ වටිනා මැණික්ගල් සොරකම්කොට විකුණා ඇති බව, වත්මන් ජනාධිපතිතුමා තම ධුරයට පත්ව දිවුරුම්දෙන අවස්ථාවේදී රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය ගලවා ඉවත්කොට තිබූ බව, නාසා ආයතනය මගින් විශ්ව ශක්තිය ලබාගැනීම සඳහා රුවන්වැලි සෑයේ මුදුනමත අකුණු සන්නායකයක් සවිකොට තිබීම සහ එයට හිටපු ඇමැතිවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ නාමල් රාජපක්‍ෂ යන මහත්වරුන් සම්බන්ධ බව, 2019 වසරේ නොවැම්බර් මාසය තුළදී මහා ජනගඟක් මැද සෑය මත පැලඳ වූ චූඩා මාණික්‍යය සත්‍ය චූඩා මාණික්‍යයක් නොවන බව, පැරණි චූඩා මාණික්‍යය පාදමේ තිබූ කෝටි 1500ක් පමණ වටිනා මැණික්ගල් සොරකම්කොට ඇති බව, රුවන්වැලි සෑයේ මුදුණත සවිකොට තිබූ අකුණු සන්නායකය හා සම්බන්ධිත ට්‍රාන්ස්මීටරයක් මගින් වෙනත් රටකට අන්තර්ජාලය හරහා තොරතුරු ලබාදෙන බව, මෙලෙස ලබාදෙන තොරතුරු හරහා රටවල් යුද ක්‍රියාකාරකම් සිදුකිරීම් සහ මෙම ඇන්ටනාවක් යැයි පවසන අකුණු සන්නායකය විනාශ කිරීමට එකී රටවල් ප්‍රහාර එල්ල කිරීම මගින් රුවන්වැලි මහා සෑය විනාශ විය හැකි බව.”