රුපියල කඩා වැටීම පිටුපස පෞද්ගලික මූල්‍ය ආයතනයක්….! දැවැන්ත මුදලක් වැඩි ලාභයට පිට රටට පොම්ප කරලා…!

January 2, 2021 at 10:45 am | by emanisa.lk

සතියකට පෙර රුපියලේ අගය විශාල ලෙස කඩා වැටීමට මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික මූල්‍ය ආයතනයක දැවැන්ත ගනුදෙනුවක් හේතු වී ඇති බවට ලැබුණු පැමිණිලි මත ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ රහස්‍ය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මෙයට දෙසතියකට පමණ පෙර අමෙරිකානු ඩොලරයක අගය රුපියල් 185 -187/ත් අතර පාවෙමින් තිබිණි. නමුත් හදිසියේ ම එම අගය අඩාල වී රුපියල අවප්‍රමාණය වී ඩොලරයේ අගය විශාල ලෙස ඉහළ ගියේය. ඒ අනුව දින කිහිපයක් තුළ ඩොලරයක වටිනාකම රුපියල් 194/-ක් විය.

මෙලෙස ඩොලරය අධිප්‍රමාණය වීමෙන් මෙරටට ආනයනය කරන ද්‍රව්‍ය මිල මෙන්ම රටේ ණය බර ද විශාල වශයෙන් ඉහළ යෑමේ අනතුරක් ද මතුවිය. මෙයින් සමස්ත මූල්‍ය ක්ෂේත්‍රය කැළැඹී ගියේය. පසුව මෙම තත්ත්වය සමනය කරගෙන ඇත්තේ මහ බැංකුව සතු ඩොලර් මිලියන ගණනක් වැය කිරීමෙනි.

අප වෙත ලැබෙන වාර්තා අනුව මෙය විදේශ විනිමය හා සම්බන්ධ දැවැන්ත ගනුදෙනුවකි. එකී මූල්‍ය ආයතනයේ ප්‍රධානීන් පවා නොදැන මෙය සිදුකර ඇත්තේ එහි කනිෂ්ඨ විධායක මට්ටමේ නිලධාරීන් පිරිසක් විසින් යැයි අදාළ මූල්‍ය ආයතනය වගකිවයුතු අංශ වෙත වාර්තා කොට තිබේ.

සතියක පමණ කාලයක් තුළ විශාල විදේශ විනිමය තොගයක් පිටරටට පොම්ප කර එමගින් දැවැන්ත ලාභයක් අපේක්ෂාවෙන් මෙම ගනුදෙනුව සිදුකර ඇතැයි සඳහන්ය. විදේශ රටවලට මෙරටින් භාණ්ඩ අපනයනය කළ ප්‍රධාන පෙළේ අපනයනකරුවන්ගේ මුදල් එම මූල්‍ය ආයතනයේ විදේශ ගිණුම් වෙත ලැබුණු පසු ඒවා ශ්‍රී ලංකාවට නො‌ගෙන්වා අදාළ ගනුදෙනුවට යෙදවූ අවස්ථා ගැන ද පරීක්ෂණ අංශවලට තොරතුරු ලැබී තිබේ.

කෙසේ වෙතත් දැන් ඒ ගැන කෙරෙන පරීක්ෂණයෙන් පසුව ගත යුතු පියවර පරීක්ෂණ කමිටුව විසින් රජයට නිර්දේශ කරනු ඇත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස