රජයට වාර්ෂිකව රුපියල් බිලියන ගණනක ආදායමක් අහිමි කළ රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම යළිත් පෞද්ගලික අංශයට ලබා දීමට සැලසුම් කරමින් තිබෙන බව වාර්තා වේ.
මීට පෙර දකුණු අප්‍රිකානු සමාගමක් හරහා රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම වසර 10කට අධික කාලයක් සිදු කෙරුණු අතර එහිදී රියැදුරු බලපත්‍රයක් වෙනුවෙන් අය කළ මුදලෙන් රජයට ලැබී තිබුණේ 15%කටත් අඩු මුදලකි. අය කළ මුදලින් රුපියල් 1,571ක මුදලක් අදාළ සමාගමට ලැබෙන පරිදි කටයුතු යොදා තිබිණි.
යළිත් එවන් ක්‍රමවේදයක් ඔස්සේ ගිවිසුම් ගතවීමට අවශ්‍ය පිඹුරුපත් දෙපාර්තමේන්තුවේ හා අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් අරඹා ඇති බව දැනගන්නට ඇත. වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු එම ගිවිසුම අවලංගු කිරීමට ගත් තීරණයත් සමඟ විදෙස් සමාගමක් වෙත ඇදී ගිය විශාල මුදලක් මෙරට තුළ ඉතිරිකර ගැනීමට හැකියාව ලැබුණු අතර මසකට රියදුරු බලපත්‍ර 90,000කට අධික ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබේ.
දකුණු අප්‍රිකානු සමාගම හරහා මෙරට මුදල් විදේශ කරා ඇදී යාම සම්බන්ධයෙන් මහින්ද අමරවීර මහතා ප්‍රවාහන ඇමැතිවරයා ලෙස පත් වූ වහාම විශ්‍රාමික විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයන් සිදු කරන ලදී. පසුව ජනාධිපතිවරයාගේ පවා අවධානය යොමුව පසුව රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම යුද හමුදාවට පැවරූ අතර එය ඉතා සාර්ථකව සිදු කෙරුණි.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් පවසන්නේ යුද හමුදාවට රියැදුරු බලපත්‍ර මුද්‍රණය බාර දුන්නේ තාවකාලිකව බවත් ඉදිරියේදී සම්පූර්ණ ක්‍රියාවලියම වෙනසකට භාජන කරන බවත් එහිදී වෙනස්කම් සිදුවිය හැකි බවත්ය. එහිදී යුද හමුදාව හෝ වෙනත් ආයතනයක් හෝ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමට තෝරා ගනු ඇති බව ද ඔහු පැවසුවේය.