පොසොන් උත්සවය පැවැත්වීම සඳහා හැකි පමණින් දායකවන්නැයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි ජනතාවට ආයාචනයක් කරයි.
ඊයේ (28) මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ සඳහන් කළේ, පොසොන් උත්සවය වෙනුවෙන් රජය ලබාදුන් රුපියල් ලක්ෂ 30ක මුදල යළි රජයට ලබාදෙන බවය.
මෙවර රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීමට ප්‍රමාණවත් රාජ්‍ය අනුග්‍රහයක් හිමිව නොමැති බවට මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පසුගිය දින කිහිපයේම චෝදනා කළේය.
එහෙත් රජය පාර්ශ්වයෙන් සඳහන් කෙරුණේ රට තුළ පවතින ආර්ථික අර්බුදකාරී වාතාවරණය මධ්‍යයයේ වුවත් රුපියල් ලක්ෂ 31ක මුදලක් ඒ වෙනුවෙන් ලබාදුන් බවය.
එම මුදල් ප්‍රමාණවත් නොවන බව පවසමින් පුණ්‍යෝත්සවයේ කටයුතු වෙනුවෙන් මුදල් එක්රැස් කිරීමේ අරමුණින් පිණ්ඩපාත චාරිකාවක ද විහාරාධිපති හිමියන් එක්ව සිටියේය.
මේ අර්බුදය හමුවේ පෙර වසරවල මෙන් පුදබිම ආලෝකමත් කිරීමට නොහැකිවීම හේතුවෙන් මේ වන විට මිහින්තලා පුදබිම අන්ධකාරයේ පවතින ආකාරය දැකගත හැකි විය. උන් වහන්සේ අවධාරණය කළේ මෙවර රාජ්‍ය පොසොන් උත්සවයක් නොමැති අතර පොසොන් සමරන බවය.