රාජ්‍ය ආදායම ගැන IMF නොසතුටින්…! ඊළඟ ණය පැකේජය පමා වෙයි..!

September 28, 2023 at 12:44 pm | by emanisa.lk

රජයේ ආදායම් උත්පාදනය අපේක්ෂිත මට්ටමක නොපවතින බැවින් ලබා දීමට එකඟවූ ණය මුදල් පැකේජයේ පළමු සමාලෝචනයේදී ශ්‍රී ලංකාව සමග කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹීමට තව දුරටත් කටයුතු කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ (27) නිවේදනය කළේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පොරොන්දුවූ ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමෙහි පළමු වාරිකයට අදාළව සිදු කරන ලද සමාලෝචනයන් සඳහා එම අරමුදලේ කණ්ඩායමක් පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔවුන් සිය සමාලෝචනය අවසානයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රජය අරමුදල සමග ඇති කරගත් එකඟතාවන්ට අනුව රාජ්‍ය ආදායම වර්ධනය කිරීමට අපොහොසත්වී ඇති බව ය.

එම අරමුදලේ නියෝජිත පීටර් බෲවර්ගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායම තවදුරටත් සඳහන් කළේ කෙසේ වුව ද ශ්‍රී ලංකාව දුෂ්කර නමුත් ඉතා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ප්‍රශංසනීය ප්‍රගතියක් ලබා ඇති නමුත් නුදුරු කාලීනව කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹීමේ අරමුණින් පළමු සමාලෝචන ක්‍රියාවලිය තව දුරටත් සිදුවනු ඇති බව ය.

පසුගිය වසරට සාපේක්ෂව රාජ්‍ය ආදායම් වර්ධනය කිරීමේ ප්‍රගතියක් ඇතත් බලාපොරොත්තු වූ ඉලක්කයට සාපේක්‍ෂව මෙම වසර අවසන් වන විට ශ්‍රී ලංකාව සියයට 15ක පසුබෑමක් පැවතිය හැකි බව ඔවුහු පෙන්වා දුන්හ. විවිධ ආර්ථික හේතු දක්වමින් මෙම හිඟය පියවා ගැනීමට කිසිදු උත්සහයක් නොගන්නේ නම්, රාජ්‍ය වියදම් මත මූල්‍ය ගැලපීමේ වගකීම වැටෙනු ඇති බව ත් මේ තත්ත්වය තුළ අත්‍යවශ්‍ය මහජන සේවාවන් සැපැයීමට රජයට ඇති හැකියාව දුර්වල කළ හැකි බව ත් ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සහ රාජ්‍ය ආදායම අතර විශාල වෙනසක් තිබෙන බවත් ශ්‍රී ලංකාව රාජ්‍ය ආදායම් වැඩි කර ගත යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් සඳහන් කළේය.

ශ්‍රී ලංකාව දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 9ක මට්ටමේ මේ වන විට සිටින බව ද 2024 වර්ෂය වන විට එය සියයට 12ක් දක්වා වර්ධනය විය යුතු බව ද මෙහෙයුම් ප්‍රධානියා ප්‍රකාශ කළේ ය. ආදායම් බදු ගෙවීමට හැකියාව ඇති පුද්ගලයන්ගෙන් බදු අය කළ යුතු බව ද ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් යෙදිය යුතු බව ද එලෙස ම ශුභසාධන අවශ්‍ය කොට්ඨාසවලට ශුභසාධනය සැපයිය යුතු බව ද හෙතෙම කීවේය.

ශුභසාධනය, අධ්‍යාපනය, සෞඛ්‍ය සැපයීම අතරතුර ණය ප්‍රතිව්‍යුහගතකරණය, ණය ලබා දීමේ වැඩසටහනේ කොන්දේසි වන බව ද පීටර් බෲවර් ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකාව තුළ භාණ්ඩ මිලෙහි විශාල වැඩිවීමක් දක්නට ලැබෙන බව ද මෙරටට මගහැරී යන බදු ආදායම් එකතුකර ගැනීම සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ද මෙහෙයුම් ප්‍රධානියා කියා සිටියේ ය.

එමගින් පීඩාකාරීත්වයකින් තොරව රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට හැකියාව ලැබෙන බව ද ශ්‍රී ලංකාව කළ යුතු ප්‍රධාන කාර්ය රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම වන බව ද පීටර් බෲවර් කීවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *