රනිල්ගේ කාලෙත් රිලවු අලි මෝල්කාරයෝ හිටියා… හැබැයි පොලුත් තිබුණා… හාල් නොමිලේ දෙන්න තරම් තිබුණා…! – වජිර….

January 10, 2025 at 9:39 am | by emanisa.lk

රටේ සහල් හිඟයක් ඇති වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතාවට නොමිලේ සහල් බෙදාදීම නිසා බවට රජයේ ඇතැමුන් ප්‍රකාශ කරන්නේ අත්දැකීම් නැතිකම නිසා යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි.

පෞද්ගලික අංශයත්, රාජ්‍ය අංශයත්, කෘෂිකර්ම අමාත්‍යාංශයත්, වෙළෙඳ අමාත්‍යාංශයත්, ඒකාබද්ධව කළමනාකාරීත්වයක් ඇතිව රට හැසිරවිය යුතු බවත්, පළපුරුද්දක් නැතිව ගන්නා ඇතැම් තීන්දු තීරණ නිසා මහ ජනතාව අපහසුතාවට පත්වෙමින් සිටිනා බවත් කොළඹ මල්පාරේ පිහිටි කාර්යාලයේ ඊයේ (9) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් වජිර අබේවර්ධන පෙන්වා දෙයි.

ප්‍රධාන සහල් මෝල්හිමියන් පස්දෙනෙක් රටේ වී අස්වැන්නෙන් සියයට 26ක් හැසිරවීම සිදුකරන බවත් ඉතිරි සියයට 74 සුළු හා මධ්‍ය පරිමාණ හාල්හිමියන් හසුරුවන බවත් ඒ මහතා කීය.

එම නිසා සහල් ප්‍රශ්නය මනා කළමනාකාරීත්වයක් ඇතිව සිදුකළ යුතු බවත්, එවැනි දෙයක් කිරීමට පළපුරුදු සහ අත්දැකීම් ඇති පිරිස් සිටිය යුතු බවට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශ කළේ ඒ නිසා බවත් අබේවර්ධන මහතා සිහිපත් කරයි.

බංකොලොත්ව පැවැති රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ කාලයේ රිළවුත් හිටියා, අලිත් හිටියා, පොලුත් තිබුණා, සහල් මොල්හිමියනුත්, ගොවි ජනතාවත් හිටියා, සහලුත් තිබුණා යැයි මතක තබාගත යුතු බව ද ඒ මහතා අවධාරණය කරයි.

වර්තමාන පාලකයන් අතීතයේ වැරදි හුවා දක්වමින් පැන යෑමට උත්සාහ දරනවා නම් එය අදක්ෂකමක් බව මතක තබාගත යුතු බවත් ශ්‍රී ලාංකික ජනතාව සිහිබුද්ධියෙන් ක්‍රියාකිරීම ඉතා වැදගත් බවත් අබේවර්ධන මහතා වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *