රට වසා තැබීමෙන් ලද ජයග්‍රහණයක් නෑ…! වහන්න කියන එකේ අවසානය කොහෙද…? – සෞඛ්‍ය ඇමැති….

August 26, 2021 at 6:08 pm | by emanisa.lk

රට වසා තැබීමෙන් ලබාගත් ජයග්‍රහණයක් නොමැති බවත් සඳුදායින් පසුව තව දුරටත් රට වසා තබනු ඇතැයි තමන් නොසිතන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

මෙය තමන්ගේ පෞද්ගලික මතය බව සෞඛ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේ ය.

“විවිධ පාර්ශ්වල අදහස්වලටත් ගරු කරන්න වෙනවා නෙ. අපේ ම කණ්ඩායම්වල යම් බලපෑමක් තියනවා නම් මේක කරන්නම ඕනෙයි කියලා, අපි එකඟ නැති දේවල් වුවත් පෙළක් වෙලාවට කරන්න සිද්ධ වෙනවා.

මොකද අපි කණ්ඩායමක් හැටියට වැඩ කරනකොට කණ්ඩායමක් එක්ක තීන්දු ගන්න එපැයි. එහෙම නැතුව තීන්දු ගන්න කොට අපි උදහසට ලක්වෙන්න පුළුවන්, අපි අප්‍රසාදයට ලක්වෙන්න පුළුවන්. හැබැයි හැම වෙලේම අපි කීපදෙනෙක්ගේම අදහස නෙවෙයිනෙ.

එහෙම කරන්න පුළුවන්, එහෙම කරන එක හොඳයි කියලාත් මට හිතෙනවා. හැබැයි ඒත් එක්කම සාමුහික වගකීමක් එක්ක ඇතැම් තීන්දු ගන්න කොට යම් යම් තීන්දු ගන්නකොට ඒකටත් ඔළුව පාත්කරලා කටයුතු කරන්න වෙනවා.

මගේ පෞද්ගලික අදහස නම් අපි එහෙම කරලා ලබාගත්ත ජයග්‍රහණයක් නෑ. අපි මේ ඔක්කොටම වඩා වැදගත් වෙන්නෙ තමන් පුද්ගලිකව අපි අපේ වගකීම, යුතුකම, අපේ හැසිරීම, අපි මේ වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග පළවෙනි දේ හැටියටයි මම දකින්නෙ. මෙහෙම දෙයක් උත්සාහ කරලා යම්කිසි දෙයක් අඩුම ගාණෙ ලබාගන්න පුළුවන් කියලා හිතනවා නම් අපට පොඩ්ඩක් ඒ ගැන හිතන්න පුළුවන් ඉතිං.

මම හිතනවා මේ ඔක්කොම කළමනාකරණය කරගෙන පුද්ගලයින් හැටියට පුරවැසියන් හැටියට අපි අපේ වගකීම් ටික ඉෂ්ට කරගෙන අපේ සීමාවන් අඳුනාගෙන ඉතුරු ටික යන්න වෙනවා. එන්න එහෙම වැඩපිළිවෙලකට රටක් යන්න වෙයි මං හිතන්නෙ. මේකෙ අවසානය කොහෙද ? වහන්න වහන්න වහන්න වහන්න කියන එකේ අවසානය කොහෙද ?”

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ බව පැවසුවේ පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක පැවති සංවාදයකට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස