රට පුරා ලියාපදිංචි නොකළ මූල්‍ය සමාගම් 11 100ක්! මිරිහානේ මිනිමරු ලීසිං කොම්පැනියත් ලියාපදිංචි නෑ! – මහ බැංකුව

June 14, 2020 at 10:53 am | by emanisa.lk

මෙරට මූල්‍ය පනත් හා නීතිරීතිවලට පටහැනිව යමින් සහ විවිධ උපක්‍රම මඟින් ආවරණ සලසා ගෙන ඇති මහ බැංකුවේ ලියාපදිංචි නොවූ මූල්‍ය සමාගම්, මූල්‍ය ආයතන සහ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්, 11,100ක් දිවයින පුරා ක්‍රියාත්මක වන බවට හෙළි වේ.

මේ පිළිබඳව කළ විමසීමකදී ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂිකා ආර්.එම්. සී. එච්. කේ. ජයසිංහ ප්‍රකාශ කෙළේ මහ බැංකුවේ ලියාපදිංචිව ඇත්තේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් 3ක් පමණක් බවයි.

ලියාපදිංචි නොවූ මූල්‍ය සමාගම් හා ආයතන කරා ගොස් වැඩි පොලියක් ලබාගැනීමටත්, වාහන සඳහා පහසුවෙන් ණය ලබා ගැනීමටත් ඇති හැකියාව නිසා ජනතාව අපහසුතාවට පත්ව ඇති බව ඇය පෙන්වා දුන්නාය.

මිරිහානේදී ඉකුත්දා පුද්ගලයකුට පහර දී ඝාතනය කළ බවට සම්බන්ධ යැයි කියන මූල්‍ය ආයතනයද මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක් නොවන අතර අදාළ වාහනය සඳහා මුදල් ලබා දී ඇත්තේ කුළී සින්නක්කර (Hire Purchase) ක්‍රමය යටතේ ය.

මේ පිළිබඳව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්නගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මුදල් වංචාවක් සම්බන්ධව පැමිණිල්ලක් ලැබුණු විට පමණක් එම ආයතනවලට එරෙහිව කටයුතු කළ හැකි බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *