රට ගඳ ගස්සන රාජිතලා නෙමේ ධනාත්මක පුවත් සඳහා මුල්තැන දෙන්න! කෙසෙල් කෙන්දෙන් නිමවන ඇඟළුම් ඒකට හොඳ ප්‍රවෘත්තියක්! – විමල්

December 29, 2019 at 3:12 pm | by emanisa.lk

නවෝත්පාදන සඳහා දිරිදීමට නව රජය සෑම විටම කැප වී සිටින බවත් ඒ සඳහා දැනුම, හැකියාව ඇති තරුණ තරුණියන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බවත් ඇමති විමල් වීරවංශ පවසයි.

ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය විසින් සංවිධානය කළ ‘කෙසෙල් කෙන්දෙන් නිෂ්පාදනය කෙරෙන රෙදිපිළි හා ඇඟලුම් එළිදැක්වීමේ’ සහ ‘ළමා ඇඳුම් සඳහා සෞඛ්‍යාරක්ෂිතතා සහතිකයක් නිකුත් කිරීමේ’ උත්සවයේදි අමාත්‍යවරයා මේ බව පැවසූවේය.

“කෙසෙල් තන්තුවෙන් නිපදවූ රෙදිපිළි හා ඇඟලුම් එළිදැක්වීමේ අවස්ථාව, මෙම අමාත්‍යාංශයේ වැඩ භාරගත් ගත් පසු මා සහභාගී වන වැදගත්ම අවස්ථාව ලෙස මා සලකනවා.

අපේ රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තය ඇද වැටී තිබියදී තමයි, කෙසෙල් තන්තු යොදා ගෙන මෙරටදී රෙදිපිළි නිෂ්පාදනය කිරීම ඇරඹෙන බවට සුබාරංචියක් ලැබෙන්නේ. අද කාබනික පොහොර යොදාගෙන වගා කෙරෙන ආහාර වර්ගවලට ලෝකයේ විශාල ඉල්ලුමක් ඇති වෙමින් තිබෙනවා. එසේම කාබනික ද්‍රව්‍ය යොදාගෙන නිපදවන ඇඳුම් පැළඳුම් සඳහා ද ලෝක ප්‍රජාවගේ උනන්දුවක් ඇති වී තිබෙනවා.

කපු පුළුන් ආශ්‍රිතව නිපදවෙන රෙදිපිළි සඳහා ඉල්ලුම වැඩි වෙමින් තිබියදී තමයි අපට අපේ රටෙන් ඇසෙන්නේ ‘කෙසෙල් තන්තුවෙන් ද රෙදිපිළි නිපදවිය හැකියි’ කියා. එවැනි නිපැයුමක උරුමය අප රටට හිමිවීම ඉමහත් සතුටට කාරණයක්.

දැනටමත් ලෝකයේ කාබනික මූලාශ්‍ර යොදාගෙන නිපදවන ඇඳුම් ප්‍රමාණය ලොව නිපදවන සමස්ත ඇඳුම් ප්‍රමාණයෙන් 1%ක වෙළඳපොළක් අත්කර ගෙන තිබෙනවා. 2017 වසර තුළ එම කාබනික මූලාශ්‍ර යොදාගෙන නිපද වූ ඇඳුම් සඳහා තිබෙන ඉල්ලුම 10%කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඉතා පැහැදිලියි, ලෝකයේ අනාගත පාරිභෝගිකයා කාබනික පදනමක් සහිත ආහාර මෙන්ම ඇඳුම් පැළඳුම්වලට ද නැඹුරු වන බව.

මෙම කෙසෙල් කෙඳි රෙදිපිළි හා ඇඟළුම් එළිදැක්වීම සමඟ ළදරු ඇඳුම් සඳහා වන සෞඛ්‍යාරක්‍ෂිතතා සහතිකය එළිදැක්වීම එකම දිනයක සිදු කිරීම යෝග්‍යයැයි මා සිතන්නේ නැහැ. ඊට හේතුව තමයි මෙරට මාධ්‍ය භාවිතය. අද රාත්‍රී 6.55 ප්‍රවෘත්ති විකාශය, මා මාධ්‍යකරණයේ නිරතව සිටියා නම් සකස් වන්නේ ප්‍රධාන ශීර්ෂ පාඨ දෙකක් සහිතවයි. ප්‍රධානතම ශීර්ෂ පාඨය ‘ශ්‍රී ලංකාවේ කෙසෙල් තන්තු ආශ්‍රයෙන් රෙදිපිළි නිපදවීමේ ව්‍යාපෘතියක් ඇරඹෙයි’ යන්නයි, දෙවැන්න ‘ළදරු ඇඳුම් සඳහා ප්‍රමිති සහතිකයක් නිකුත් කරයි’ යන්නයි.

නමුත් අවාසනාවකට අද විනාඩි 10ක්ම වැය වන්නේ රාජිත සේනාරත්න රෝහලේදී අත්අඩංගුවට ගැනීමට, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ අද රැස්වීමට සහ රාජිත බැලීමට රෝහලට යන පිරිසේ ‘වොයිස් කට්’ ආදියටයි. වෙළඳ දැන්වීම් හා ඉතිරි ‘වොයිස් කට්’ වලින් පසුව වෙලාවක් ඉතිරි වුවහොත් ‘ශ්‍රී ලංකාව කෙසෙල් තන්තුවෙන් රෙදිපිළි නිපදවීම අරඹයි’ යන ප්‍රවෘත්තියත් විකාශය විය හැකිය.

නමුත් ’ළදරු ඇඳුම් සඳහා ප්‍රමිති සහතිකයක් නිකුත් කිරීම’ යන්න කිසිසේත්ම ප්‍රවෘත්තියක් බවට පත් වන්නේ නැහැ. මෙවැනි වැදගත් ප්‍රවෘත්තියක් කැපී යන්නේ දරුවන් සිටින අම්මලා, තාත්තලා පිරිසක් අතින් වීම කනගාටුවට කරුණක්.

අපේ රටේ තිබෙන්නේ සෘණාත්මක ප්‍රවෘත්තිවලට ඉල්ලුමක්. එම ඉල්ලුම හදලා තියෙන්නේ මෙරට ජනමාධ්‍ය විසින්මයි. අද ගෙදර සාලයේ වාඩි වී සිටින්නේ සෘණාත්මක ප්‍රවෘත්තියක් බලාපොරොත්තු වන්නෙක්. ඒ නිසා මෙවැනි ධනාත්මක ප්‍රවෘත්ති කැපී යාමේ ඉඩක් පවතිනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස