රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම අපේ රජයේ පළමු කාර්යභාරයයි! – ගෝඨාභය ත්‍රස්ත භීතියෙන් සලිත රටට සිය පළමු ප්‍රතිඥාව ලබා දෙයි….

August 11, 2019 at 5:37 pm | by emanisa.lk

මව්බිමේ ස්වෛරීත්වයට කිසිවෙකුටත් බලපෑම් කිරීමට තමන් ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසයි.

සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේදී අද (11) පැවැත්වු පොදුජන පෙරමුණු මහ සම්මේලනයේදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
අනාගත දේශපාලනයේ විප්ලවීය වෙනසක් සිදු කිරීමට ලැබුණු අවස්ථාව වගකීමෙන් හා නිහතමානීව බාරගන්නා බව ද ඔහු සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ එහිදී මෙසේද පැවසීය.

“අද ශ්‍රී ලංකා දේශපාලනයේ තීරණාත්මක සන්ධිස්ථානයක්. මේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය මම ගෞරවයෙන් හා නිහතමානීව බාර ගන්නවා. අනාගත දේශපාලනයේ විප්ලවීය වෙනසක් කරන්න බාර දුන් වගකීම යුග මෙහෙවරක් ලෙස මෙතෙක් මගේ රාජකාරීයේ දී මා සාර්ථකව වගකීමෙන් ඉටුකළා. සීමාවන්ට කොටු නොවී සම්මතයෙන් ඔබ්බට ගොස් ඒ වගකීම ඉටු කළා. අනාගතයේද ඒ සියලු ජනතාව වෙනුවෙන් නොපැකිළ සිදු කරනවා.

රටතුළ පූර්ණ ආරක්ෂාව සැපයීම මාගේ මූලික අරමුණයි. රටේත් දූදරුවන්ගෙත් ආරක්ෂාව මම බාර ගන්නවා. ආගම්වලට ගරු කරමින් සංස්කෘතියට ගරු කරමින් ජීවත් වුණ ජාතියක් අපි. අපේ ශක්තිය එයයි. සියලු දෙනාට එකට ජීවත් විය හැකි රටක් නිර්මාණය කරන බවට මම සහතික වෙනවා. අන්තවාදයට ත්‍රස්තවාදයට ඉඩ තබන්නේ නැහැයැයි”

විප්ලවීය වෙනසක් නිර්මාණය කරන්න තමාට බාර දීම යුග මෙහෙවරක් ලෙස සලකන බවද කියා සිටි ගෝඨාභය රාජපක්ෂ, තමා රටට ආදරය කරන බවත්, තමාට රට ගැන දැක්මක් ඇති බවත් මව්බිමට සෞභාග්‍ය උදා කිරීමට ඇති අවස්ථාවක් ලෙස මෙය බාර ගන්නා බවත් පැවසීය.

ජනතාව ඉදිරියේ අවශ්‍ය නායකත්වය සැපයීමට සුදානම් බව ඉතා වගකීමෙන් පවසන බවත් කියා සිටි ඔහු කිසිවිටෙකත් තමා සීමාවලට කොටු නොවී වැඩ කරන බවද සඳහන් කළේය.

තමාගේ රටට එරෙහි වන කිසිවෙකුට හිස නැමුවේ නැති බවත්, අනාගතයේ දීත් රටේ සෛවරීයභාවයට අත තියන කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නැති බව ද ගෝඨාභය වැඩිදුරටත් පැවසීය.

අද වන විට රටට අවශ්‍ය වන්නේ විනයගරුක දුෂණයෙන් තොර දේශප්‍රේමී නායකත්වයක් බවත් පැවසු හෙතෙම ජනාධිපතිවරයාගෙන් ජනතාව අපේක්ෂා කරන්නේ එවැනි ගුණාංග බවද කියා සිටියේය.

අපේ රජයක් තුළ පළමු කාර්යභාරය වන්නේ රටේ පුර්ණ ආරක්ෂාවක් තහවුරු කිරීම වන බවද ඔහු මෙහිදී පැවසීය.

යළිත් ලංකාව ලෝකයේ සුරක්ෂිතම රට බවට පත් කළ හැකි බව ඉතා විශ්වාසයෙන් පවසන බවත්, දූදරුවන්ගේ ආරක්ෂාව තමා බාර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

විවිධ ආගම් අදහන පුද්ගලයින් සිටින බවත්, එකිනෙකාගේ සංස්කෘතියට ගරු කළ පිරිසක් බවත්, අපගේ ශක්තිය විය යුත්තේ එය බවද පැවසීය.

උතුරේ ජනතාවට විශේෂිත වු ගැටළු ඇති බවත්, එම ගැටළු නිසැකයෙන්ම විසඳා දැමීමට තම රජයක් තුළින් ක්‍රියාකරන බවද පැවසු ඔහු රටේ අනාගත පරපුර දැනුමින් පෝෂණය කිරීමට ද විශේෂ අවධානයක් යොමු කරන බව කියා සිටියේය.

කාන්තාවකට බිය නැතුව ඕනෑම තැනක යා හැකි රටක් අපි ගොඩ නගන බවද ඔහු මෙම සමුළුව හමුවේ පවසා සිටියේය.

කිසිදු රටකට සෛවරීත්වය බිඳ දැමීමට ඉඩ නොදෙන බවද පැවසු ඒ මහතා, කිසිදු රටක් ඉදිරියේ දණ නොගසන යුගයක් නැවත ඇති කරන බවද පැවසීය.

ඉදිරියේ එන ජනාධිපතිවරණය රටට ඉතාම තීරණතාමක බවත් එය රටේ අනාගතය තීරණය කරනු ඇති බවත් ඒ වෙනුවෙන් සියලු දෙනාට පක්ෂ භේදයෙන් තොරව අත්වැල් බැඳගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

සමස්ත මැතිවරණ ව්‍යාපාරයම විනය ගරුක ලෙස පවත්වා ගෙන යෑමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත්, මැතිවරණ ව්‍යාපාරය තුළ පරිසර ආරක්ෂණයට මුල් තැන ලබා දෙමින් පොලිතීන් භාවිත නොකර අන් අයටත් ආදර්ශයක් වෙමු යැයි මෙහිදී ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස