රටම ඇන්දූ රාජිතගේ සුදුවෑන් කිඹුල්ලු නැවතත් වැඩ අරඹති! ලක්ෂ 46 කොල්ලයට හොර කල්ලියම අත්අඩංගුවට පත්වෙයි!

February 26, 2020 at 9:54 am | by emanisa.lk

හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න විසින් සංවිධානය කළ බව කියන ආන්දෝලනාත්මක සුදු වෑන් ප‍්‍රවෘත්ති සාකච්ඡාවට සම්බන්ධ වූ අපරාධකරුවන් දෙදෙනා මීට දින කිහිපයකට උඩදී ගම්පහ ප‍්‍රදේශයේ ආයුර්වේද මධ්‍යස්ථානයකට කඩා වැදී රුපියල් හතළිස් හය ලක්‍ෂයක මුදල් දේපළ කොල්ලකෑ සිද්ධියේ සුලමුල හෙළිකරගත් පෑලියගොඩ අපරාධ කොට්ඨාසය එම අපරාධකරුවන් දෙදෙනා ඇතුළු හත්දෙනකු අවි ආයුධයත් සමග ඊයේ (25) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කොල්ලකෑම මෙහෙයවා ඇත්තේ සුදු වෑන් ප‍්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි කරගෙන සිටි අපරාධකරුවන් දෙදෙනා විසින් බව විමර්ශනවලින් හෙළි වී තිබේ. මෙම කොල්ලකෑම සඳහා යොදාගත් ටී – 56 ගිනි අවියක් සහ ව්‍යාජ ගිනිඅවි කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

මීට දින කිහිපයකට පෙර රාත‍්‍රියේ ගම්පහ කෙසෙල්බද්දර ප‍්‍රදේශයේ ආයුර්වේද මධ්‍යස්ථානයකට දස දෙනකුගෙන් සමන්විත පිරිසක් පැමිණ ඇත්තේ ප‍්‍රතිකාර ලබාගැනීමට යැයි කියමින්ය.

පසුව මෙම පිරිස ගිනි අවි පෙන්වා ආයුර්වේද මධ්‍යස්ථානයේ හිමිකරුවන්ට මරණ තර්ජන කර එහි තිබූ රුපියල් විසිපන් ලක්‍ෂයක මුදලක් සහ විසි එක් ලක්‍ෂයක් වටිනා රන් ආභරණ කොල්ලකාගෙන පලාගොස් තිබිණි.

මෙම ආයුර්වේද මධ්‍යස්ථානයේ හිමිකරුවන් විහාරස්ථානයක ඉදිකිරීම් සඳහා පූජා කිරීමට සූදානම් කරගෙන සිටි රුපියල් විසිපන් ලක්‍ෂයක මුදල් මෙම පිරිස කොල්ලකාගෙන ගොස් තිබූ බව පොලිසිය පවසයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විමර්ශන පැවැත්වූ පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මෙම කොල්ලකෑමට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ සියලු තොරතුරු හෙළිකරගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස