රටට හිතැති බලවේගය පරදන්න මතුවන අවතාරවලට රැවටෙන්න එපා! ජනතාව නිවැරදි කඳවුර තෝරා නොගත්තොත් රට විනාශයි! – මොහාන් සමරනායක (video)

June 10, 2019 at 8:10 pm | by emanisa.lk

යහපාලන ආණ්ඩුව බලයට පත් වූ දා සිට සිදු කළේ තමන් බලයට පත් කළ විදෙස් බලවේග සතුටු කිරීම සඳහා මිස හැට දෙලක්ෂයක් ජනතාවගේ සුභ සිද්ධිය සඳහා නොවන බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක පවසයි.

වියත්මග සංවිධානය ‘රට සහ හෙට’ මැයෙන් බිංගිරිය මහ ගෙදර උත්සව ශාලාවේ ඊයේ (09) පැවැත් වූ සම්මන්ත‍්‍රණය අමතා ඔමු මෙම අදහස් ප්‍රකාශ කළේය.

“එදා මහින්ද රාජපක්‍ෂ රජය ගෙදර යවන්න කටයුතු කළේ අධිරාජ්‍යවාදීන්. විදේශ බලවේගවලට මහින්ද රාජපක්‍ෂ රජය අවනත වුණේ නැහැ. තිස් වසරක් තිස්සේ පැවති ත‍්‍රස්තවාදය අවසන් කරන්නට හැකි වුණේ විදේශ බාධා මැදයි.”

“ඒ වගේම මහින්ද රාජපක්‍ෂ රජය චීනය සමඟ රටේ සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කළා. විදේශ බලවේග චීනය ලංකාවේ මිත‍්‍රයෙක් වීම අනුමත කළේ නැහැ. යහපාලන ආණ්ඩු පෙරළිය විදේශ බලවේගවල ව්‍යාපෘතියක්. බලගතු රටවල් අවියෙන් හෝ මැතිවරණවලින් ආණ්ඩු වෙනස් කරනවා. විදේශ බලවේගවලට අවනත, යටත් නොවන ආණ්ඩු වෙනස් කරනවා. රෙජීම් චේන්ජ් කියන්නේ මෙවැනි ව්‍යාපෘතිවලටයි. එදා සිටම යහපාලන ආණ්ඩුව ක‍්‍රියා කරන්නේ තමන් බලයට ගෙන ආ බලවේග සතුටු කිරීම සඳහායි. හැට දෙලක්‍ෂයක් වූ ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා නොවෙයි.”

“මේ ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු බලවත් රටවල නායකයන්, නියෝජිතයන් වැල නොකැඩී ආවා. ඒ එන හැම නියෝජිතයෙක්ම කියන්නේ බලය බෙදන්න, නව ව්‍යවස්ථාවක් ගේන්න, යුද්ධය අවසන් කළ රණවිරුවන්ට දඬුවම් කරන්න කියලයි. ඒ ගමන තමයි දැන් යමින් සිටින්නේ. රටේ ආරක්‍ෂක හමුදා ත‍්‍රස්තවාදයට එරෙහි කළ සටනේදී මානව හිමිකම් කඩකළ බවට, යුද අපරාධ කළ බවට ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යෝජනාව මේ රජය කැමැත්තෙන්ම පිළිගත්තා. සෙසු කණ්ඩායම් සහභාගි කරගෙන ජනතාව මුලාකරගෙන ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ඉටු කරමින් සිටිනවා. වක‍්‍ර මාර්ගයකින් අපේ රට විදේශ කොළනියක් කරා ගමන් කරමින් සිටිනවා.”

“රටේ ස්වාධීනත්වය රැක ගන්නවාද කියන අභියෝගය අප ඉදිරියේ තිබෙනවා. ස්වාධීනත්වය අහිමි කර ගන්නවාද? අධිරාජ්‍යවාදීන්ට යටත් වෙනවාද? ජාතීන් අතර අසමගියක් ඇති කරගෙන රට ලිබියාවක්, ඉරාකයක් කර ගන්නවාද? ලෝකයේ කිසිදු රටකට, ජාතියකට නැඟීසිටින්නට බැහැ ස්වාධීනත්වයක් නැතිව. එවැනි රටක ඔබේ දරුවන් ජීවත් වෙනවාද කියන ප‍්‍රශ්නය ඉදිරියේ පවතිනවා. මෙවර සටන අවුල් කරන්න විවිධ බලවේග ඇවිත් ඉන්නවා. මේ සටනින් රටට හිතවත් බලවේග පරාජය කරන්න විවිධ අවතාර ඉන්නවා. නිවැරදි කඳවුර තෝරාගන්න. රටේ ස්වාධීනත්වය, ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටින කඳවුර තෝරා ගන්න. නිවැරදි කඳවුර තෝරා නොගතහොත් වෙන්නේ අපේ විනාශයයි.”

වියත්මග මාධ්‍ය ඒකකය

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස