වකුගඩු දියවන රටට බාල පොහොර බෙදා කෝටි 100ක් පිල්ලි ගහලා…!

November 4, 2021 at 12:45 pm | by emanisa.lk

පොහොර සහනාධාරය යටතේ ගොවීන්ට ලබාදීමට පොහොර ලේකම් කාර්යාලයෙන් ආනයනය කරන ලද යූරියා පොහොර සඳහා ව්‍යාජ රසායනාගාර වාර්තා ඉදිරිපත් කරමින් සිදුකළ බව කියන රුපියල් කෝටි 100කට අධික මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (03) කරුණු වාර්තා කළේය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවතින පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකරනු ලැබූ මෙම වංචාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන කොට්ඨාසයට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ, මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා විසිනි.

පොහොර ලේකම් කාර්යාලය විසින් 2018 සහ 2019 වර්ෂවල දී මෙරටට ආනයනය කරනු ලැබූ යූරියා, මියුරේට් ඔෆ් පොටෑස් සහ ට්‍රිපල් සුපර් පොස්පේට් යන පොහොර වර්ග සඳහා රසායනාගාර වාර්තා ව්‍යාජව සකස් කර මෙම වංචාව කාලාන්තරයක් තිස්සේ සිදුකරමින් තිබූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණීල්ලේ සඳහන්ව ඇත.

මෙම පොහොර සම්බන්ධයෙන් වන රසායනාගාර වාර්තා අසමත් (ෆේල්) වීම නිසා මෙසේ ව්‍යාජ වාර්තා සකස් කර ඇති බවට මෙතෙක් සිදුකර ඇති විමර්ශනවල දී හෙළිවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *