රටට උවමනා අයාලේ යන වෙනසක් නෙමේ, අර්ථාන්විත වෙනසක්!

March 5, 2019 at 5:55 pm | by admin

විවිධ රටවල බලපෑම් උඩ අපේ ප‍්‍රතිපත්ති වෙනස් කිරීම සහ වෙන රටවල සංකල්ප මත ප‍්‍රතිපත්ති වෙනස් කිරීම මගින් අපේ රටේ ජනතාව ඉල්ලා සිටින වෙනස ලබා දිය නොහැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා විසින් රචිත ග‍්‍රන්ථ ත‍්‍රිත්වයක් දොරට වැඩීමේ සහභාගී වෙමින් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා වැඩි දුරටත් මෙසේ පැවසීය.

වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා පරිසරය ගැන දක්වන උනන්දුව අගය කරනවා. ඇවිදින මංතීරු ඇතුළු ස්වභාවික සෞන්දර්යය ආරක්‍ෂා කර ගැනීම සඳහා ගෙන ගිය ව්‍යාපෘතිවලින් කැමති ව්‍යෘපෘතිය තමයි නිපෝන් මාවත ආශ‍්‍රිතව තිබෙන ව්‍යාපෘතිය. මගේ කාලයේ අවසන් කරන්න බැරි වුණා. නමුත් දැන් අවසන් කරලා තිබෙනවා. ඒ ප‍්‍රදේශය ආරක්‍ෂා වෙලා තිබුණේ පාර්ලිමේන්තුව පිටුපස තිබූ නිසයි. එම ස්ථානයට ගියාම මතක් වෙනවා සිංහරාජය තිබෙන්නේ කියලා. යුද්ධය තිබූ කාලය එම ප‍්‍රදේශය අධිආරක්‍ෂිත කලාපයක් කර තිබුණා. හරිම සුන්දර ස්ථානයක්. දියවන්නාවට ආවේණික සතුන් ඉන්නවා. එම ව්‍යාපෘතිය තුළින් සතුන් ආරක්‍ෂා කිරීමට ද කටයුතු කළා.

කොළඹට තදාසන්න ප‍්‍රදේශවල තිබූ පරිසරය නාගරිකකරණයත් සමඟ විනාශ වෙමින් පැවතුණා. රාජ්‍ය ආයතන කෝට්ටේ ප‍්‍රදේශයට ගෙනයෑමත් සමඟම එම ප‍්‍රදේශයේ තිබූ පහත් බිම් ගොඩ කළා. එහි ස්වභාවික පරිසරය විනාශ වෙමින් තිබුණා. දැනට ඉතිරි වෙලා තිබෙන ප‍්‍රමාණය හරි ආරක්‍ෂා කිරීම ඉතා වැදගත්. නීතිය පැනවීමෙන් තුළින් ස්වභාවික පරිසරය ආරක්‍ෂා කර ගැනීමට අසීරුයි. නමුත් ස්වභාවික පරිසරය අපි ආරක්‍ෂා කරගත යුතුයි. පරිසරය රැක ගැනීම කාගේත් යුතුකමක්. කොළඹ ඇතිවන ක්‍ෂණික ගංවතුරට මූලික හේතුව මෙහි තිබූ ස්වභාවික පරිසරය විනාශ වීමයි.

කොළඹ ගස් වැල් රැසක් රෝපණය කිරීමට අප කටයුතු කළා. ඒ සඳහා පැළ සොයා ගැනීමට අසීරු වුණා. වෙනත් පළාත්වලින් ගෙනැත් පැළ රෝපණය කළා. වෙන රටවල්වල පැළ තවාන්වල පැළ තිබෙනවා. නමුත් එවැනි පැළතවාන් අප රටේ සොයා ගන්න අමාරුයි. ත‍්‍රිවිධ හමුදාවට වසරකට වෛද්‍යවරුන් 40 ක් පමණ අවශ්‍යයි. එම නිසා එදා කොතලාවල වෛද්‍ය පීඨයක් ආරම්භ කරන්න අවසර ඉල්ලූවා. වෛද්‍ය සභාවේ සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කැමැත්තක් තිබුණේ නැහැ. අපි ඒ ගැන හේතූන් සොයා බැලූවා. ඇතුළත් කිරීමේදී වෙන්න පුළුවන් වැරදි නිසා බව ඔවුන් කිව්වා. ඇතුළත් කිරීමේ කටයුතු නිසි පරිදි කරන බවට වෛද්‍ය සභාවට සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පැහැදිලි කර දුන්නා. බලපෑමකින් තොරව සුදුසුකම් සහිත සිසුන් බඳවා ගත්තා. දැන් කොතලාවල වෛද්‍ය පීඨය ඉහළ මට්ටමකින් පවත්වාගෙන යනවා.

වෙනසක් කියන එක හැම තැනම කතා වෙනවා. නමුත් වෙනසක් සොයන විට අර්ථයක් ඇති වෙනසක් ගැන ජනතාව බලාපොරොත්තු වෙනවා. වෙනසක් ඇති කිරීමට කවුරුත් කතා කළත් ජනතාවට, රටට අවශ්‍ය වෙනස ඇති වෙන්නේ නැහැ. විවිධ රටවල බලපෑම් උඩ අපේ ප‍්‍රතිපත්ති වෙනස් කිරීම සහ වෙන රටවල සංකල්ප මත ප‍්‍රතිපත්ති වෙනස් කිරීමයි මේ තත්ත්වයට හේතුව.

අපිට හොඳ සංස්කෘතියක් තිබුණා. ආචාර ධර්ම, සම්ප‍්‍රදායන් තිබුණා. ආගන්තුක දේශපාලන සංකල්ප අපේ රටේ ක‍්‍රියාත්මක කිරීමට යෑම නිසා තමයි අද මෙහෙම වෙලා තිබෙන්නේ. බොහෝ රටවල් ආර්ථික වශයෙන් බටහිර විවෘත ආර්ථික ක‍්‍රම භාවිත කළත් ඔවුන් ඔවුන්ට ආවේණික අනන්‍යතාව ආරක්‍ෂා කරගෙනයි ඒවා ක‍්‍රියාත්මක කරන්නේ. එනිසා අපි හැම විටම දේශීය, සිරිත්විරිත්, අනන්‍යතාව ආරක්‍ෂා කරගෙනයි අවශ්‍ය වෙනස ක‍්‍රියාත්මක කළ යුත්තේ.

චමින්ද කරුණාරත්න
Media Coordinator
GR Media Unit

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස