රජයේ කාබනික ප්‍රතිපත්තියේ කිසිම වෙනසක් නෑ…! සියලු සහනාධාර කාබනික ගොවිතැනට විතරයි…! කෘෂි රසායන ගෙන්වන්න පෞද්ගලික අංශයට අවසර…!

November 22, 2021 at 7:21 pm | by emanisa.lk

එළවළු, බඩ ඉරිඟු සහ ධාන්‍ය වැනි වගාවන්වල අවශ්‍යතාව මත කෘෂි රසායන පෞද්ගලික අංශය හරහා ආනයනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (22) අනුමැතිය දුන්නේය.

හරිත කෘෂිකර්මාන්තය තව දුරටත් රජයේ ප්‍රතිපත්තිය බව කී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, රජය කිසි විටක එම ප්‍රතිපත්තියෙන් බැහැර නොවන බව ද සඳහන් කළේය.

අවශ්‍යතාව මත රජයේ මැදිහත්වීමෙන් තොරව කෘෂි රසායනික ද්‍රව්‍ය පෞද්ගලික අංශය මගින් ආනයන කළ හැකි බව ද කී ජනාධිපතිවරයා, රසායනික පොහොර හෝ කෘෂි රසායන රජයේ සහනාධාර වැඩපිළිවෙළ යටතේ කිසි විටෙකත් ලබා නොදෙන බවට සහ රජයක් ලෙස පොහොර බෙදාහැරීම, සහනාධාර ලබාදීම කාබනික ගොවිතැන වෙනුවෙන් පමණක් සිදුකරන බවට අවධාරණය කළේය.

ගොවීන් නිසි ලෙස දැනුවත් කළ යුතු බවත් එමෙන්ම එය ක්‍රියාත්මක කිරීමේදී පවතින රසායනික පොහොර මාෆියාව පිළිබඳ හඳුනාගත යුතු බවත්, ඒ සමග සටන් වැඳ නිවැරදි දේ ජයග්‍රහණය කරවීමට නිලධාරීන්ගේ කැපවීම අත්‍යාවශ්‍ය බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ගොවීන් උද්ඝෝෂණවල යෙදීමට සහ වගා කටයුතු ප්‍රමාද කිරීමට හේතුව ඔවුන් නිසි ලෙස දැනුවත් නොවීම බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එලෙස දැනුම්වත් නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිලධාරීන් වෙත සිය අප්‍රසාදය පළ කර තිබේ.

හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය තුළ සිටිමින් උද්ඝෝෂණය කරන ගොවීන් වෙනුවෙන් පිළිතුරු සෙවීමට නිලධාරීන් ක්‍රියා කළ යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා, රජයේ ප්‍රතිපත්තියට එකඟ නොවන නිලධාරීන්ට ඉන් ඉවත් වීමට බාධාවක් නොමැති බවත් සඳහන් කර තිබේ.

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (22) පෙරවරුවේ පැවැති විශේෂ සාකච්ඡාවක දී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ එසේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස