රජයක වගකීම රැකියා සැපයීම නොව රැකියා නිර්මාණය කළ හැකි ආර්ථිකයක් ගොඩනැඟීමයි…! – ජනපති….

July 15, 2021 at 10:10 pm | by emanisa.lk

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව උද්ඝෝෂණවල නිරතවන්නන් සිදුකළ යුත්තේ වර්තමානයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම මිස දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් පෙනී සිටීම නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (15) පුරවර විශ්වවිද්‍යාල වැඩසටහනයේ ආරම්භක අවස්ථාවට එක්වෙමිනි.

නව තාක්ෂණය සමග, රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින්, කුසලතා පූර්ණ උපාධිධාරීන් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව පුරවර විශ්වවිද්‍යාල, දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය කෙරෙන පරිදි ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.

උසස් පෙළ සමත් එහෙත් ආර්ථික ශක්තියක් නැති, කුසලතා පූර්ණ දරුවන්ට රැකියා වෙළෙඳපොළට සරිලන උපාධියක් පිරිනැමීම පුරවර විශ්වවිද්‍යාල වැඩසටහනෙන් ජනපති අපේක්ෂා කරයි. එහි පළමු සරසවිය කෑගල්ල දිස්ත්‍රික්කයේ, පින්නවල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඉදිරි සති කිහිපය තුළදී ආරම්භ කෙරේ.

මෙම වැඩසටහනේ දී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, උපාධියක් ලබාගන්නා බහුතරයක් රජයේ රැකියාවක් අපේක්ෂා කරන බවය. එහෙත් රජයක වගකීම වියයුත්තේ රැකියා සැපයීම නොව රැකියා නිර්මාණය කරන පුළුල් ආර්ථික පසුබිමක් සැකසීම බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

පුරවර විශ්වවිද්‍යාල වැඩසටහනෙන් තමා අපේක්ෂා කරනුයේ, ආර්ථිකයට සෘජුව සම්බන්ධ වියහැකි හෝ ස්වයං රැකියාවක නිරත විය හැකි දැනුමක් සහිත පුද්ගලයෙකු උපාධිය අවසානයේ නිර්මාණය කිරීම බව ද ජනාධිපතිවරයා පැවසීය. සියයට සියයක් රජයේ විශ්වවිද්‍යාල පවත්වා ගෙන යෑමට හැකියාවක් නොමැති වුවත් ව්‍යාපාරික අරමුණින් පමණක් පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වා ගෙන යෑමට තමා ද විරුද්ධ බව ජනාධිපතිවරයා මෙහි දී සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස