යුධ ජයග්‍රහණයට ආශීර්වාදයක් වූ ගෝඨා – බ්ලේක් ගිවිසුම

May 19, 2019 at 6:45 pm | by admin

එල් ටී ටී ඊ සංවිධානයට එරෙහිව ශ්‍රි ලංකා ත්‍රිවිධ හමුදාවන් කළ යුද්ධයේ තීරණාත්මක සංධිස්ථානයක් වූයේ කොටි සංවිධානයේ පාවෙන අවි ගබඩා ලෙස භාවිත වූ නෞකා ගණනාවක් ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් 2006 – 2009 කාලය තුළ විනාශ කරනු ලැබීමය. ඉන් මුල් නෞකා දෙක 2006 සැප්තැම්බර් හා 2007 පෙබරවාරිවල විනාශ කරනා ලද්දේ ලංකාවේ මුහුදු සීමාව තුළ වූ අතර තුන්වැන්න විනාශ කරනා ලද්දේ 2007 මාර්තු මස ඉන්දුනීසියාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේදීය. එහෙත් ඉන් පසු කොටි සංවිධනය තම පාවෙන අවි ගබඩා ලංකාවෙන් ඉතා ඈත ජාත්‍යන්තර මුහුදට ගෙන යන ලද නිසා ඒවා සොයා ගැනීමට අවශ්‍ය කරන චන්ද්‍රිකා තාක්ෂණය හෝ ජාත්‍යන්තර බුද්ධි තොරතුරු සහාය ශ්‍රී ලංකා නාවුක හමුදාවට නොතිබිණි.

වාසනාවකට මෙන් 2001 සැප්තැම්බර් මස ඇමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යසථානයට අල් කයිඩා ත්‍රස්තවාදීන් පහරදීමෙන් පසු ඇමෙරිකාව ත්‍රස්තවාදයට එරෙහිව දැඩි පියවර ගනිමින් සිටි අතර එල් ටී ටී ඊ සංවිධානයේ පාවෙන අවි ගබඩා හරහා අල් කයිඩා සංවිධානයට අවි ආයුධ ලැබීමේ තර්ජනයක් ඇති බව ඇමෙරිකාව වටහා ගෙන තිබිණි. ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා සහයෝගයෙන් කටයුතු කරනා ආකාරය ගැන ලංකාව හා ඇමෙරිකාව අතර සාකච්ඡා ඇරඹී තිබිණි.

2007 මැයි මස ඇමෙරිකාවේ හා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශ අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් කෙරෙන්නේ මේ වාතාවරණය තුළය. එය මින් පෙර දෙරට අතර තිබු විවිධ ගිවිසුම්වලට වඩා ලංකාවේ ආරක්ෂක අවශ්‍යතා පදනම් කරගෙන සකස් වූවක් වූ අතර එය අත්සන් කරනු ලැබුවේ ලංකාව වෙනුවෙන් හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තුමේන්තුව වෙනුවෙන් වෙනුවෙන් හිටපු ඇමෙරිකානු තානාපති රොබට් ඔි. බ්ලේක් මහතාය. මෙය කිසිවෙකුට රහසක් නොවූ අතර පාර්ලිමේන්තුව පවා ඒ සම්බන්ධයෙන් දැනුමිවත් කරන ලදී.

මේ ගිවිසුමෙන් ආවරණය වූයේ යම් අවශ්‍යතාවකදී දෙරට හමුදාවන් අතර බඩු භාණ්ඩ හා සේවාවන් හුවමාරු කරගන්නා ක්‍රමවේදයයි.( The agreement is entered into the purpose of establishing covers the basic terms, conditions, and procedures to facilitate the reciprocal provision of logistic support, supplies, and services – SECTION 1 OF THE ACQUISITION AND CROSS-SERVICING AGREEMENT )

මේ ගිවිසුම් හරහා යුධ අවි හුවමාරුවට ඉඩක් නැති බව ගිවිසුමේ පැහැදිලි සඳහන් වේ. එහෙත් බුද්ධි අංශ තොරතුරු හා තාක්ෂණ සහාය මේ හරහා ලබා දිය හැකිව තිබිණි.

යුධ සමයේ ශ්‍රී ලංකා නාවික හමුදාවට නායකත්වය දුන් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ විසින් රචිත ‘අධිෂ්ඨානය – එල් ටී ටී ඊ ය පරාජය කිරීමේ නෞක හමුදාවේ භූමිකාව’ නැමති ග්‍රන්ථයේ තමා රොබට් ඕ. බ්ලේක් මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාත් ඔස්ට්‍රේලියානු මුහුදු සීමාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේ සඟවා තිබූ එල් ටී ටී ඊ පාවෙන අවි ගබඩා පිළිබඳව බුද්ධි තොරතුරු චන්ද්‍රිකා තාක්ෂ්ණය හරහා ඇමෙරිකාව ලබා දුන් ආකාරයත් පැහැදිලි කොට ඇත. ඉතා පරිස්සමින් සැලසුම් කොට ශ්‍රි ලංකා මුහුදු සීමාවෙන් කිලෝමීටර 3500 -4000 ක් පමණ ඈතට යාත්‍රා කොට මේ නෞකා විනාශ කිරීමට ශ්‍රී ලංකා නෞක හමුදාව කළ වික්‍රමාන්විත මෙහෙයුම මේ වන විට ඉතිහාස ගත වී අවසන්ය.

2006 -2009 කාලය තුළ කොටින්ගේ පාවෙන අවිගබඩා විනාශ කළ දින මෙසේය.

2006 සැප්තැම්බර් 17 ලංකාවේ සිට කි. මී 240ක් නැගෙනහිරින් තිබූ එක් නැවක්
2007 පෙබරවාරි 28 ලංකාවේ සිට කි. මී 730ක් දකුණින් තිබූ එක් නැවක්
2007 මාර්තු 18 ලංකාවේ සිට කි. මී 1650ක් ගිනිකොණින් තිබූ එක් නැවක්
2007 සැප්තැම්බර් 10 සහ 11 ලංකාවේ සිට කි. මී 2800ක් ගිනිකොණින් තිබූ නැව් 3 ක්
2007 ඔක්තෝබර් 7 ලංකාවේ සිට කි. මී 3240ක් ගිනිකොණින් තිබූ එක් නැවක්

එල් ටී ටී ඊ යේ පාවෙන අවි ගබඩා අහිමි වීම නිසා ගොඩබිම සටන් කළ ත්‍රස්තවාදීන්ට කිසිදු අඩුවකින් තොරව එතෙක් ලැබුණ අවි ආයුධ සැපයුම අඩාල විමද ඔවුන්ගේ පරාජයට තුඩු දුන් එක් විශේෂ හේතුවක් විය.

ගෝඨාභය රාජපක්ෂ හා රොබට් ඕ. බ්ලේක් අතර 2007 මැයි මස අත්සන් කෙරුණ ගිවිසුමෙන් ලංකාවට ලැබුණේ වාසියක් පමණි. එම ගිවිසුම් වලංගුව තිබූ වසර 10 න් 2015 දී පසුගිය රජය වෙනස් වන තුරු නම් ලංකාවෙන් අමෙරිකාව ලබා ගත් දෙයක් නැත.

ලංකා රජය ඇමෙරිකාව සමඟ යහන්ගත වන්නට තීරණය කලේ 2015 න් පසුවය.

වර්තමානයේ නම් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හා ඇමෙරිකාව අතර කුමන ගිවිසුම් තිබෙනවාදැයි රටේ ජනතාව තබා රටේ ජනාධිපතිවරයාවත් නොදන්නා බව නිසැකය. මේ ගිවිසුම්වල නම් වැඩි වාසිය ඇත්තේ ඇමෙරිකාවට බව අගමැතිවරයාගේ පරගැති මානසිකත්වය හොඳින් දන්නා අපට කැට තබා කිව හැකිය.

ලංකාවෙන් අක්කර දහස් ගණනක් අමෙරිකානු යුධ හමුදාවට ලබා දෙන්නට යන්නේ මේ නව ගිවිසුම් යටතේ මිස ත්‍රස්තවාදයට එරෙහිව වූ යුධ ජයග්‍රහණයට ඇමෙරිකාවෙන් බුද්ධි තොරතුරු හා තාක්ෂණ සහාය ලබාගත් ගෝඨා- බ්ලේක් ගිවිසුමෙන් නම් නොවන බව මේ රටේ වසන බුද්ධිමත් ජනතාවට නම් දැන් පැහැදිලි විය යුතුය.

Nalaka Godahewa

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස