ජනතාව බියට පත්ව ලුණු තොග වශයෙන් නිවෙස් වෙත ගෙන ගොස් තැන්පත් කර ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි හම්බන්තොට ලංකා ලුණු සමාගමේ නව සභාපති ටී. නන්දනතිලක පවසයි.
ඊයේ (28) එම සභාපති ධුරයෙහි වැඩභාරගනිමින් හෙතෙම මේ බව කීය.
මේ වන විට ලංකා හම්බන්තොට ලුණු සමාගම සතුව මෙට්‍රික් ටොන් 6000ක ලුණු ප්‍රමාණයක් පවතින බවත් එය ජනවාරි මාසය දක්වා ප්‍රමාණවත් බවත් හෙතෙම පෙන්වා දෙයි.
යම් ආකාරයකට ලුණු හිඟයක් ඇති වේ යැයි පවතින සැකය මත පිට රටින් ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට සූදානම් කර ඇතැයිද සභාපතිවරයා පවසයි.
2024 වසරේ දී ලුණු නිෂ්පාදනය සැලකිය යුතු අයුරින් අඩු වී ඇතැයි ද මීට හේතුව 2009 යුධමය තත්ත්වයෙන් පසු යාපනයේ ලුණු ලේවායයන් දෙක සංවර්ධනය කර ලුණු නිෂ්පාදනයට යොදා ගැනීමට පියවර නොගැනීම බව ද ඔහු අවධාරණය කරයි.
එළැඹෙන ජනවාරි මැද වන විට එහි සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති බැවින් මාර්තු මාසය ආරම්භය වන විට එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් සභාපතිවරයා කියා සිටියේය.