යුගදනවි ගිවිසුම ජාතික ආර්ථිකයට ජාතික ආරක්ෂාවට තර්ජනයක්…! එරෙහිව ජාතික සංවිධාන සමග සජබෙත් ශ්‍රේෂ්ඨාධිකරණයට…!

October 21, 2021 at 4:16 pm | by emanisa.lk

කෙරවලපිටිය යුගදනවි බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය සහ ගෑස් සැපයීමේ ඒකාධිකාරය අදාළ අමෙරිකානු සමාගම වෙත පැවරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, යුගදනවි බලාගාරය හිමි වෙස්ට් කෝස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ්, එම සමාගමේ කොටස් පවරනු ලැබූ ඇමරිකානු සමාගම වන නිව් ෆෝට්රස් එනර්ජි සමාගම, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ කෙරවලපිටිය යුගදනවි බලාගාරය අයත් සමාගමේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස්වලින් සියයට 40 ක් වගඋත්තරකාර අමෙරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යුක්ති සහගත නොවන බවය. එම තීරණය ගැනීමට පෙර ජාතික ආර්ථිකය හා ජාතික ආරක්ෂාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට වග උත්තරකාර අමාත්‍ය මණ්ඩලය අසමත් වී ඇති බවද ඔහු චෝදනා කරති.

එමෙන්ම අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය හරහා මෙරට ගෑස් නිෂ්පාදනයේ ඒකාධිකාරය වගඋත්තරකාර අමෙරිකානු සමාගම වෙත පවරා දී තිබෙන බව පෙන්වා දෙන පෙත්සම්කරු එම කොටස් පැවරීමේ දී විධිමත් ටෙන්ඩර් පටිපාටි අනුගමනය කර නොමැති බවද සඳහන් කළේය. මේ හරහා අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය තුළ පවතින පාරදෘශ්‍යභාවය පිළිබඳව බරපතළ ගැටලු මතුවී තිබෙන බව ඔහු පෙන්වා දෙයි.

එබැවින් අමාත්‍ය මණ්ඩලය විසින් කිසිදු සාධාරණ කරුණු අධ්‍යයනයකින් තොරව අදාළ කොටස් පැවරීමට ගනු ලැබූ තීරණය තුළින් රටේ මහ ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී. එමෙන්ම යුගදනවි බලාගාරයේ සතු රජයේ කොටස් පැවරීමට අමාත්‍ය මණ්ඩලය ලැබූ තීරණය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මේ අතර යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට සහ ගෑස් එකාධිකාරය එම සමාගම වෙත පැවරීම අභියෝගයට ලක් කරමින් තවත් පෙත්සමක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබේ. ජාතික හිමිකම් සංවිධානයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, වෛද්‍ය ගුණදාස අමරසේකර සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් එම පෙත්සම ඉදිරිපත් කළේය.

එහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂය ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කර තිබේ. පෙත්සම්කරුවන් කියා සිටින්නේ යුගදනවි බලාගාරයේ රජය සතු වූ කොටස් හා එල්එන්ජී ගෑස් ඒකාධිකාරය අමෙරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවය. එබැවින් එම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස