යුගදනවි ගිවිසුමේ දී සාමුහික වගකීම කඩකළේ බැසිල්….! – විමල්ලගේ නීතීඥයා අධිකරණයට කියයි….

January 11, 2022 at 9:16 am | by emanisa.lk

කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් කොටස් සියයට 40ක් ඇමරිකාවේ නිව්ෆ්‍රෝටස් එනර්ජි සමාගමට පවරාදීම ස්වභාවික ද්‍රව වායු සැපයීමේ කොන්ත‍්‍රාත්තුව ඇමරිකානු සමාගමකට ලබාදීමට අදාළ කටයුත්තේදී කැබිනට් මණ්ඩල සාමූහික වගකීම් කඩකර ඇත්තේ සිය සේවාදායකයන් නොව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ යැයි උදය ගම්මන්පිල, විමල් වීරවංශ හා වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා ඊයේ (10) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේය.

කැබිනට් අමාත්‍යවරුන් වන සිය සේවාදායකයන් මුල් අවස්ථාවේ සිටම යුගදනවි ගිවිසුම මගින් රටේ ජාතික ආරක්‍ෂාවට සිදුවිය හැකි අනතුරු හා එහි ඇති අහිතකර කි‍්‍රයා සම්බන්ධයෙන් එකම ස්ථාවරයේ සිටි නමුත් හැකි සෑම විටකදීම සාමූහික වගකීම් සුරැකීමට උපරිමයෙන් උත්සාහ දැරූ බවද ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය.

කෙරවලපිටිය යුගදනවි ගිවිසුම අභියෝගයට ලක්කරමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ඇල්ලේ ගුණවංශ හිමිපාණන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් සලකා බැලීම සිදුකළ අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා එලෙස ප‍්‍රකාශ කළේය.

එම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ හා එම්. ටී. බී. දෙහිදෙනිය යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.

එකී ගිවිසුම් අත්සන් කිරීමට පෙර ඒ සඳහා කැබිනට් මණ්ඩලය තීරණ දෙකක් මගින්ම අනුමැතිය ලබාදී ඇති බවත් එකී කටයුතු සිදුකර ඇත්තේ නිත්‍යනුකූල අන්දමින් වන බැවින් කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් අවශ්‍ය නොවන බවත් ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය.

සිය සේවාදායකයන් එකී ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප‍්‍රකාශ ලබාදීම ඔවුන් සාමූහික වගකීම් කඩකළ බවට නිගමනය කළ නොහැකි බවත් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා විනිසුරු මඬුල්ලට වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එම පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 12 වැනිදා පෙරවරු 10.00ට යළි කැඳවීමට විනිසුරු මඬුල්ල නියෝග කළේය. එකී පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරව ප‍්‍රතික්‍ෂේප කරන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ජී. ජී. අරුල්ප‍්‍රගාසම් විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය.

එකී ගිවිසුම්වල අහිතකර ප‍්‍රතිඵල පිළිබඳ සිය සේවාදායකයන් විසින් මුදල් අමාත්‍යවරයාව ලිඛිතව දැනුවත් කර ඇති බවත් ජනාධිපතිවරයාගෙන් ද සාකච්ඡා කිරීමට අවස්ථා ඉල්ලා සිටි බවත් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා එහිදී විනිසුරු මඬුල්ලට වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස