යහපාලනාණ්ඩුව බටහිර උවමනාවට පෙරහැර කළ අලි අත්අඩංගුවට ගත්තා…! ඒ අලි නඩත්තු කරන්න අවු. 05ට රු. ලක්ෂ 7200ක් වැය කළා…! – ආචාර්ය කිරින්දේ අස්සජි හිමි….

September 11, 2021 at 7:51 am | by emanisa.lk

පෙරහර ඇතුළු සංස්කෘතික අංගයන් සඳහා සහභාගී කර ගත් මෙරට හීලෑ අලි ඇතුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් නඩත්තු කිරීම සඳහා යහපාලන ආණ්ඩුවට වසර පහකට රුපියල් කෝටි 72ක් වැය වී ඇති බව ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ පවසති.

හාම්පුතුන් සතුව තිබූ අලි ඇතුන් 40ක් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත් අතුරු සෙවණට සහ පින්නවල අලි අනාථාගාරයට භාර දුන් බව අවධාරණය කළ උන්වහන්සේ මාසයක් සඳහා එක් අලියකුට වැය වී ඇති මුදල රුපියල් ලක්ෂ තුනක් බවට ගණන් බලා ඇති බවත් පැවසීය.

උන්වහන්සේ මේ බැව් කියා සිටියේ මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ අලි ඇතුන් 40න් 15 දෙනකු නිදහස් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට ප්‍රශංසා කිරීම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

පසුගිය යහපාලන ආණ්ඩුව මෙලෙස අලි ඇතුන් අත්අඩංගුවට ගැනීම බුදු දහමට බෞද්ධ සංස්කෘතියට කළ නිගරුවක් දැයි මාධ්‍යවේදියකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් උන්වහන්සේ කියා සිටියේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ නොකළත් ඒ සම්බන්ධයෙන් මහා සංඝරත්නය තුළ මහත් වේදනාවක් ගැබ්ව තිබූ බවය.

මෙරට සංස්කෘතිය හා බද්ධ වී සිටි අලි ඇතුන් යහපාලන ආණ්ඩුව බටහිර උවමනාවන් වෙනුවෙන් අත්අඩංගුවට ගැනීමෙන් මෙරට භික්ෂූන් වහන්සේලා තුළ විශාල කතිකාවක් ඇති වී තිබුණා. බටහිරින් ඇවිත් කියලා දෙන දේ කරන විට සිත් රිදවීමක් තිබෙනවා. පාප්තුමා පවා ශ්‍රී ලංකාවට ඇවිත් කිව්වේ මේ රට සතර බ්‍රහ්ම විහරණ තිබෙන රටක් බවයි. මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා කියන සතර බ්‍රහ්ම විවරණ තිබෙන ලොව කිසිම රටක් නැහැ.

බුදු දහම තරම් අවිහිංසාවක් හින්දු ධර්මයේ හැරෙන්නට කිසිදු ආගමක නැහැ. හාම්පුතුන් භාරයේ සිටි අලි ඇතුන් අත්අඩංගුවට ගෙන ඔවුන් ඒ පරිසරයෙන් වෙනස් කර අර්ධ හීලෑ පරිසරයකට වෙන් කරනු ලැබුවා. එහිදී අලි ඇතුන් මෙන්ම හාම්පුතුන්ද ඒ පීඩාවෙන් මිය ගියා. නැවත වතාවක් අලි ඇතුන් සම්බන්ධයෙන් යම් වැරැදි දෙයක් සිදු නොවීමටත් එසේ වී ඇත්නම් යළි එවැනි දෑ නොවීමටත් අදාළ නිර්නායක ඇතුළත් ගැසට්ටවුක් ආණ්ඩුව නිකුත් කර තිබෙනවා. එහි ගෘහස්ථ අලියකු බලා ගන්නා ආකාරය දක්වා තිබෙනවා. වයස් සීමාව, කළ යුතු කාර්ය භාරය එහි තිබෙනවා. මේ ගැසට්ටුව අනාගතයට වඩා වැදගත්.”

මේ අවස්ථාවට බෙල්ලන්විල විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය එක්ව සිටියහ.

සුභාෂිණී සේනානායක

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස