මොළ හතේ ආර්ථික ආශ්චර්ය අද කෝ…! ගෙයක් ගානේ නැති බැරිකමේ අඳෝනා ඇහෙනවා…! – සජිත්…

October 15, 2021 at 3:53 pm | by emanisa.lk

ආර්ථිකයෙන් ආශ්චර්යයන් පාන්නට හැකි මොළ හතේ චරිතයක් ඉන්නවා යැයි පුරසාරම් දෙඩූ ආණ්ඩුව අද ඉතිහාසයේ කිසි දිනක නොවූ විරූ තරම් ජනතාව පීඩාවට පත් කරමින් සිටින්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

අද වන විට ගමක් ගමක් පාසා ගෙයක් ගෙයක් පාසා නැති බැරිකමේ අදෝනාව, ආර්ථික පීඩාවේ වේදනාව නැගෙමින් පවතින බව පැවසූ විපක්ෂ නායකතුමා ජන ජීවිත නඟාසිටුවීමට ආණ්ඩුවට කිසිදු සැලසුමක් නැතැයිද ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව පවසා සිටියේ කැස්බෑව නගරයේ පැවති “පාලකයින් හිතුමතේ- ජනතාව හාමතේ”මැයෙන් සංවිධානය කොට තිබූ විරෝධතාවකට එක්වෙමිනි.

ගජමිතුරු කල්ලි වාදයත්, විශාල මාෆියාවන් රැසකුත් රටේ ක්‍රියාත්මක වන බව පැවසූ විපක්ෂ නායකතුමා, ආණ්ඩුව දිනෙන් දින කරමින් සිටින්නේ ජනතාව පීඩාවෙන් පීඩාවට පත්කිරීම බව ද පැවසීය.

සිවිල් අයිතිවාසිකම්, ආර්ථික අයිතිවාසිකම්, දේශපාලන අයිතිවාසිකම් සංස්කෘතික අයිතිවාසිකම් ඇතුළු සමස්ත අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ වගකීම ආණ්ඩුවට ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා එහෙත් ඒ වෙනුවට අද සිදුව ඇත්තේ ජනතාවට අසහනයෙන්, නැති බැරි කමින් පීඩා විඳීමට යැයිද පැවසීය.

කැස්බෑව සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක ගයාන් ද මෙල් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කොට තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *