මොළේ කළඳක් ඇති මිනිහෙක් 20ට සහාය දෙන්නේ නෑ!

March 8, 2019 at 12:19 pm | by admin

තම කණ්ඩායමේ සිටින විධායක ජනාධිපති ධුරයට එරෙහි පිරිස පවා අද වන විට 20 වන සංශෝධනයට විරුද්ධව බව පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවක දී (06) පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල පැවසීය.

අද දවසේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජවිපෙ හමුවීම පුවත් මවන සිදුවීමක් වී තිබෙනවා. ඒකෙ ඇති අරුමයක් නෑ. විපක්ෂයේ සිටින දේශපාලන පක්ෂයක් විපක්ෂ නායක හමුවීමට අවස්ථාවක් ඉල්ලුවාම ඒ අවස්ථාව ලබා දීම විපක්ෂ නායකතුමාගේ යුතුකමක්. කපුටාගේ කටේ තිබුණු කේජු කෑල්ල ගන්න කපටි නරියෙක් කපුටාව වර්ණනා කළ විධියටම අද ජවිපෙ මහින්ද රාජපක්ෂ මැතිතුමා වර්ණනා කරනවා. ඒ රට වනසන විසි වන සංශෝධනයට අපේ මන්ත්‍රි කණ්ඩායමේ සහය ලබා ගන්නයි. නමුත් ජවිපෙ නොදන්නා තිත්ත ඇත්ත නම් මහින්ද රාජපක්ෂ මැතිතුමා වගේ පරිණත දේශපාලකයෙකු තම්බන්න ජවිපෙ ගොරකා මදි කියලා ඒ අය අද ඉගෙන ගනීවි.

ඒකාබද්ධ විපක්ෂයේ සියලුම පක්ෂ විසිවන සංශෝධනයට විරුද්ධ වෙන්න ඒකමතිකව තීන්දු කළා. ඒ අතර විධායක ජනාධිපති ක්‍රමයට පක්ෂ අය මෙන්ම විපක්ෂ අයත් ඉන්නවා. අපි කවුරුත් විසි වන සංශෝධනයට විරුද්ධ වෙන්නේ එය මේ ආණ්ඩුව මේ වසරේම ගෙදර යවන්න ලැබෙන ස්ර්වණමය අවස්ථාව නැති කර ගන්න බැරි නිසා. ඒ වගේම මේ සංශෝධනයේ කාරක සභා අවස්ථාවේ මොන ගිනි ගෙඩියක් මේකට එකතු කරාවි ද කියා ජවිපෙවත් දන්නේ නෑ.

2017 අංක 16 දරණ පළාත් පාලන මැතිවරණ (සංශෝධන) පනත ආණ්ඩුව ඉදිරිපත් කළේ කාන්තාවන්ට 25% අවම නියෝජනයක් සහතික කරන්න කියලා. නමුත් කාරක සභා අවස්ථාවේ දී සංශෝධනයක් ගෙනැවිත් සමෘද්ධි කෘෂි වගේ ක්ෂේත්‍ර නිලධාරින්ට ඡන්දය ඉල්ලීමේ අයිතිය නැති කළා. ඒ නිසා හිටපු මන්ත්‍රිවරු 300කට අධික ගණනකට ඡන්දය ඉල්ලීමේ අයිතිය නැති වුණා. ඒ වගේම 2017 අංක 18 දරණ පලාත් සභා මැතිවරණ (සංශෝධන) පනත ගෙනාවේත් පලාත් සභා තුල අවම කාන්තා අයිතිය තහවුරු කරන්නයි. අන්තිමට මොකද වුණේ? කාරක සභා අවස්ථාවේ සංශෝධනයක් ගෙනැවිත් පලාත් සභාවලට කොට්ඨාශ හඳුන්වා දීලා සීමා නිරණයකට මුවා වෙලා පලාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැම්මා.

විසි වන සංශෝධනය ඇතුලට රට කෑලි දහයකට කඩන ෆෙඩරල් ව්‍යවස්ථාව ඔබන්න පුළුවන්. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයට කොට්ඨාශ ක්‍රමය හඳුන්වා දීලා ඒ මැතිවරණයත් කල් දාලා 2025 දක්වා මැතිවරණ සිතියම හකුලන්නත් පුළුවන්. ඒ නිසා මොලේ කලඳක් තිබෙන කිසිවෙකු විසිවන සංශෝධනයට සහය දෙන එකක් නෑ.

පක්ෂයේ ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා සමග කඩුවෙල නාගරික මන්ත්‍රි ශිරන්ත ජයලත් මහතාද මෙම මාධ්‍ය හමුව සදහා එක්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස