මෛත්‍රී මහින්ද විධායක ජනාධිපති ධුුරය අහෝසි කරන්න එකඟයි! ජවිපෙ 20 සම්මත වන ලකුණු! රට ෆෙඩරල් අවදානමක!

February 23, 2019 at 10:35 am | by admin

ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇතුළු සංශෝධන ඇතුළත් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වන ලකුණු පහළ වී තිබේ.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කැමැත්ත ප්‍රකාශ කිරීමත් සමගය. ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය ද බොහෝ කලක සිට දරන්නේ එම මතයයි.

මේ පිළිබඳ මහින්ද රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ හමුවක දී අදහස් විමසා ඇති අතර ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයකු පවසා ඇත්තේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක පසුබිමක විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම අනර්ථකාරී බවය. එස්.බී. දිසානායක ද එය අනුමත කර ඇත්තේ මේ අවස්ථාවේ පෞද්ගලික අරමුණු නොව රටේ ඉරණම ගැන කල්පනා කළ යුතු බව පවසමිනි. මහින්ද රාජපක්ෂ මේ පිළිබඳ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සමග ද දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇතැයි වාර්තා වෙයි.

එවක ශ්‍රේෂ්ඨාධිකරණය 13 වන සංශෝධනය ඔස්සේ යෝජිත පළාත් සභා නිසා රට ෆෙඩරල් නොවන්නේ යැයි තීන්දු කළේ විධායක ජනාධිපති ධුරය පවතින නිසාය. එහෙයින් යම්කිසි ආකාරයකින් විධායක ජනාධිපති ධුරය අහෝසි කළහොත් රට ෆෙඩරල් වීම නොවැළැක්විය හැකිය.

එසේම පෙර පැවති ආසන ක්‍රමය වෙනුවට සමානුපාතික මැතිවරණ ක්‍රමයක් අද ක්‍රියාත්මක වන නිසා කිසිම පක්ෂයකට ස්ථාවර ආණ්ඩුවක් තනා ගත නොහැකි වී ඇති අතර සුළු වර්ගවාදී පක්ෂවල ඉල්ලීම්වලට යටත් වී ආණ්ඩු පිහිටු වීමට සිදුව ඇත.

මෙවැනි තත්ත්වයක් තුළ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම රටේ ඒකීයත්වය අහිමි කරන රට අරාජික කරන ක්‍රියාවක් බවට අදහස් පළවෙමින් තිබේ. 19 වන සංශෝධනය මගින් මහින්ද රාජපක්ෂට නැවත ජනාධිපති ධුරයට තරඟ කිරීමේ අයිතිය අහුරා ඇත.

කෙසේ වුවද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නිසා රට අවුල් ජාලාවක පැටලි ඇති අතර විධායක ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන සියල්ලට ඉහළින් ව්‍යවස්ථාදායක සභාව ක්‍රියාත්මක වන බවට ජනාධිපතිවරයා පසුගියදා චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *