මෛත්‍රී ජාතික රූපවාහිනියේ බලය අල්ලයි! අද රාත්‍රී සිට රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යංශය යටතට!

September 9, 2019 at 11:38 pm | by emanisa.lk

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අද (9) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය භාරව කටයුතු කරන අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගන්නා බව සඳහන් කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අද (9) රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.

ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා මතභේද පැවති අතර එහි සභාපතිනී ඉනෝකා සත්‍යාංගනී ඉවත් කිරීමට අගමැති ප්‍රමුඛ එජාප ආණ්ඩුව කටයුතු කළ ද ජනාධිපතිවරයා ඊට එරෙහි විය.

ඉනෝකා සත්‍යාංගනී සභාපති ධුරයේ සිටින අතරම ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සංජීව විජේගුණවර්ධන සහ අනතුරුව කැළුම් පාලිත මහීරත්න නව සභාපතිවරුන් ලෙස පත් කළ ද ඒ කිසිවකුට එහි සේවය කිරීමට ඉනෝකා සත්‍යාංගනී ඉඩ නොදුන්නාය.

ජාතික රූපවාහිනිය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගැනීමත් සමගම එය ජනාධිපතිවරයාගේ ඍජු අධීක්ෂණයට ලක්වන අතර ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මාර්ගයෙන් එජාපයට තව දුරටත් එහි කටයුතුවලට බලපෑම් කළ නොහැකි වනු ඇත.

මේ අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් සිය ෆේස්බුක් ගිණුමේ “ජනාධිපතිවරණ සටන 2019 ආරම්භ විය” යනුවෙන් සටහනක් තබා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස